කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

“විෂය නොදන්න CIDය කරපු විමර්ශනයෙන් රටේ සෞඛ්‍යයම ඉවරයි!”

“ ‘Sir, මට සමාවෙන්න’ කියා බාල බෙහෙත් සැපයුම්කරු හිරගෙදරදී කී හැටි ඉමියුනොග්ලොබියුලින් නඩුවේ විත්තිකරුවන් ත්‍රිපුද්ගල මහාධිකරණයේදී හෙළි කරයි!”

“විෂය නොදන්න CIDය විමර්ශනය කරලා අපිව විනාශ කළා: සර් මේකට සම්බන්ධ නෑ කියා සැපයුම්කරු හිරගෙදරදී මගෙන් සමාව ඉල්ලුවා!” – බාල බෙහෙත් නඩුවේ විත්තිකරුවන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ හෙළි කළ බිහිසුණු ඇත්ත මෙන්න!
ප්‍රමිතියෙන් තොර බාල හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (Human Immunoglobulin) සහ රිටොක්සිමැබ් (Rituximab) ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීම හරහා රුපියල් ලක්ෂ 1,444ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ආන්දෝලනාත්මක විත්තිවාචක ඉදිරිපත් කළ බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, විත්තිකරුවන් සිය විත්තිවාචක ඉදිරිපත් කිරීම ආරම්භ කෙරිණි.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

“විෂය නොදන්න CIDය කරපු වැඩෙන් සිස්ටම් එකම ඉවරයි” – 11 වැනි විත්තිකරු වෛද්‍ය තුසිත සුදර්ශන
වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්තනෝමතික විමර්ශන ක්‍රියාවලිය සහ මාධ්‍ය මඟින් සිදුකළ චරිත ඝාතනය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

“විෂය නොදන්න මනුස්සයෙක්, Content එක කියවන්න බැරි මනුස්සයෙක් තමයි මේ විමර්ශනය කළේ. මා තනි පුද්ගලයෙක් වුණාට කමක් නෑ, මේකේ අගතිය කෝටි දෙකක ජනතාවගේ නිදහස් සෞඛ්‍යයට බලපානවා. මේ සිද්ධියට මම සම්බන්ධ නැති බව සී.අයි.ඩී. එකේදී පුන පුනා කිව්වා. ඒත් නොකළ වරදකට අත්අඩංගුවට ගත්තා. ජනමාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දෙමින් අපිව Abuse කළා. CID නිලධාරියාට කියන්න තියෙන්නේ මෙහෙම කළහම මිනිස්සු හිතන්නෙවත් නැතිවෙයි තීරණයක් ගන්න.”

තමන් ඉන්දීය ණය ආධාර ක්‍රමය (ICL) යටතේ පැවති දැඩි මුර මුරපොළවල් 18ක් (Watch Gates 18) සහිත ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සරල ගණිතමය කෙටි ලැයිස්තුගත කිරීමක් (Short listing) පමණක් සිදුකළ බවත්, කිසිදු සැපයුම්කරුවෙකු සමඟ කුමන්ත්‍රණය නොකළ බවත් හෙතෙම අවධාරණය කළේය.

“මේ සැපයුම්කරුවා මම දන්නේ නෑ. ඔහු මගේ කාමරයට ඇවිල්ලත් නෑ. දෛවෝපගතව මම ඔහුව දැක්කේ බන්ධනාගාරයේදී. එතැනදී ඔහු මට කිව්වා ‘සර් මේකට සම්බන්ධ නෑ, මට සමාවෙන්න’ කියලා. විදේශගතව සිට අධිකරණයට සහාය දීමට ලංකාවට ආපු මාව ගුවන් තොටුපළේදීම බෙල්ලෙන් අල්ලගෙන ගිහින් බල්ලෙක් වගේ කූඩුවකට දැම්මා.”

දුරකථන ඇමතුම් ගණන වැඩි කර පෙන්වූ හැටි සහ මහජන කෝපය ඇවිලූ මාධ්‍ය නාටකය – 10 වැනි විත්තිකරු වෛද්‍ය සමන් රත්නායක
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය කුසුම්සිරි සමන් රත්නායක සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, ඇණවුම් කළ ඖෂධ 45න් 43ක්ම කිසිදු ගැටලුවකින් තොරව ලැබුණු බවත්, අර්බුදය මතු වූයේ එක් සැපයුම්කරුවෙකු ලබාදුන් ඖෂධ වර්ග දෙකක් නිසා පමණක් බවත්ය. විමර්ශන නිලධාරීන් විසින් තම දුරකථන ඇමතුම් සංඛ්‍යාව හිතාමතා විකෘති කර අධිකරණයට සහ පුවත්පත්වලට ඉදිරිපත් කළ බව ඔහු අනාවරණය කළේය.

“අදාළ සිද්ධිය වන කාලය තුළ මගේ දුරකථන ඇමතුම් තිබුණේ 9යි. ඒත් විමර්ශන නිලධාරියා කොවිඩ් සමයේ මාස්ක් ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ලෙස 2022 සිට කතා කරපු ඇමතුම් ඔක්කොම එකතු කරලා ඇමතුම් 31ක් තියෙනවා කියලා අධිකරණය නොමඟ යැව්වා. වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇතැම් නිලධාරීන් ඇමතුම් 350ක් අරන් තියෙද්දී මගේ සාමාන්‍ය රාජකාරි ඇමතුම් කිහිපය පමණක් උලුප්පා පෙන්වා මගේ කාර්යාලය සීල් තබා විශාල මාධ්‍ය සංදර්ශනයක් මැව්වා.”

බන්ධනාගාරයේදී තමන් මුහුණදුන් බිහිසුණු අත්දැකීම් විස්තර කළ ඔහු, මාධ්‍ය මඟින් මවාපෑ ව්‍යාජ ප්‍රතිරූපය නිසා බන්ධනාගාර රැඳවියන් පවා තමන්ව මරා දැමීමට උත්සාහ කළ බව සංවේගයෙන් යුතුව සිහිපත් කළේය.

“දිනක් එක් වයස්ගත රැඳවියෙක් කෑගහලා කිව්වා ‘අර යන්නේ බාල බෙහෙත් ගෙනත් ළමයි 350ක් මරා දාපු ලේකම්, ඕකව ගල් ගහලා මරන්න ඕනේ’ කියලා. එදා ඉඳලා සතියක් මට නින්ද ගියේ නෑ. මම කොවිඩ් කාලේ එන්නත් බිලියන 68ක් රටට ගෙනත් දුන්න, වසර 32ක් සේවය කරපු නිලධාරියෙක්. අපිට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉටුකර නිදොස් කොට නිදහස් කරන්න.”

“ADR එකක් ආ පමණින් බෙහෙත් නවත්වන්න බෑ; නැවැත්තුවා නම් ලෙඩ්ඩු දහස් ගණනක් මැරෙනවා” – 12 වැනි විත්තිකරු වෛද්‍ය විජිත් ගුණසේකර
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, 2022 වසරේ රට තුළ පැවති උග්‍ර ඖෂධ හිඟය හමුවේ ලියාපදිංචි නොවූ හදිසි ඖෂධ ගෙන්වීමට WOR (Waiver of Registration) ලිපි නිකුත් කිරීමේ නීතිමය ක්‍රමවේදය පැහැදිලි කළේය.

තමන් කිසිදු ප්‍රසම්පාදනයකට, මිලදී ගැනීමට හෝ මුදල් ගෙවීමකට සම්බන්ධ නොවූ බව අවධාරණය කළ හෙතෙම, ඖෂධයක සංකූලතාවක් (ADR) වාර්තා වූ සැණින් එය නතර කිරීමේ ඇති ප්‍රායෝගික අනතුර පෙන්වා දුන්නේය.

“අතුරු ආබාධයක් (ADR) වාර්තා වූ පමණින් නිසි විමර්ශනයකින් තොරව බෙහෙතක් අත්හිටෙව්වොත් සමස්ත සැපයුම් ජාලයම කඩා වැටිලා ඒ ඖෂධය මත යැපෙන දහස් ගණන් රෝගීන් මියයන්න පුළුවන්. එහෙත් 2023 සැප්තැම්බර් 20 වැනිදා මෙම ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ සංකූලතා තත්ත්වයක් MRI විශේෂඥ වෛද්‍යවරයා වාර්තා කළ වහාම, අපි ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා එම ඖෂධය භාවිතය වහාම Withhold කර පසුව Withdraw කිරීමට කටයුතු කළා. මෙවැනි අසත්‍ය චෝදනා නිසා මගේ රැකියාව අහිමි වුණා, සමාජ අපවාදයට ලක්වුණා.”

කෙහෙළිය ඇතුළු 12කට නඩු: හිටපු ජනපති රනිල් ඇතුළු සාක්ෂිකරුවන් 350ක් ලැයිස්තුවේ
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නොවන වෙනත් නුසුදුසු ද්‍රව්‍ය අඩංගු කුප්පි 6,195ක් රජයේ රෝහල් පද්ධතියට සපයා රුපියල් ලක්ෂ 1,444ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 13ක් ගොනු කර ඇත.

මෙම නඩු විභාගය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ සහ NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු සාක්ෂිකරුවන් 350 දෙනෙකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 300ක් ඉදිරිපත් කර තිබේ.

විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අවසන් වීමෙන් පසු, විත්තිය වෙනුවෙන් සාක්ෂි කැඳවීම සඳහා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles