“වරාය නගරයේදී DG රෙවාන් ගොලු වෙයි! රාධිකා දිගටම ද්විත්ව කිරුළ දරයි: COPF කාරක සභාව හමුවේ හෙළිවිය යුතු නොවිසඳුණු අභිරහස් මෙන්න!”
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (CPCEC) තුළ රාජ්‍ය බඳවාගැනීමේ පටිපාටි සහ ආයතනික පාලන සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකර ඇති අත්තනෝමතික පත්වීම් මාලාව සම්බන්ධයෙන් එල්ල වන බරපතළ චෝදනා හමුවේ, කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රෙවාන් වික්‍රමසූරිය මාසයක් තිස්සේ ගොළු පිළිවෙතක් අනුගමනය කරද්දී, රාධිකා ඔබේසේකර තවදුරටත් එම ‘ද්විත්ව කිරුළ’ දරමින් සිටින බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
කොමිසමේ අතිශය තීරණාත්මක තනතුරක් වන ‘වාණිජ හා මෙහෙයුම් අධ්යක්ෂ’ (Director – Commercial & Operations) ධුරයට රාධිකා ඔබේසේකර පත්කිරීම සහ ස්වාධීන නීති අධ්යක්ෂවරයකු පත් නොකර නීති අංශයේ සමස්ත අධීක්ෂණ බලතලද ඇය යටතටම පැවරීම බරපතළ අවශ්‍යතා ගැටුමකට (Conflict of Interest) මඟපාදා ඇත. ආයෝජන, ඉඩම් බදුදීම් සහ මූල්‍යමය ගිවිසුම් සැලසුම් කරන වාණිජ අධ්යක්ෂවරියම, එම ගනුදෙනුවල නීත්‍යානුකූලභාවය තීන්දු කරන නීති අංශයද පාලනය කිරීම හරහා තමන් ගන්නා තීරණ තමන් විසින්ම අනුමත කරගැනීමේ අතිශය අවදානම් සහගත ‘ද්විත්ව සෙල්ලමක්’ කොමිසම තුළ ක්‍රියාත්මක වන බවට ක්ෂේත්රයේ දැඩි විවේචන එල්ල වේ.
අදාළ තනතුර සඳහා 2025 පෙබරවාරියේ පළවූ නිල බඳවා ගැනීමේ දැන්වීමට අනුව ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA) හෝ ඊට සමාන ඉහළම සුදුසුකමක් සහ වසර 10ක මෙහෙයුම් කළමනාකාරීත්ව පළපුරුද්දක් අනිවාර්ය කර තිබුණද, ඇය සතුව ඇත්තේ නීතිවේදී (LLB) මූලික උපාධියක් සහ අලෙවිකරණ (Marketing) ඩිප්ලෝමාවක් පමණක් බව හෙළිව තිබේ. මෙරට සුදුසුකම්ලත් විෂය ප්‍රවීණයන් ඕනෑතරම් සිටියදී, අනිවාර්ය MBA සුදුසුකම නොසලකා හරිමින් අලෙවිකරණ ඩිප්ලෝමාවක් පමණක් ඇති අයෙකු මෙවැනි වගකිවයුතු තනතුරකට ඔසවා තැබීමට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කළේ කුමන නිර්ණායක මතද යන්න බරපතළ ගැටලුවකි.
මෙම අර්බුදය සහ නීති අංශයේ බලතල ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් ලබාගැනීමට ‘හරිදේශය වෙබ් අඩවිය’ විසින් පසුගිය ඔක්තෝබර් 02 වන දින විද්‍යුත් තැපෑලෙන් මෙන්ම දුරකථනයෙන්ද කරුණු විමසූ අවස්ථාවේදී, “ප්‍රතිපත්තියක් ලෙස කොමිසම මාධ්‍ය වාර්තා පිළිබඳව සාමාන්‍යයෙන් අදහස් දක්වන්නේ නැත” යන සුපුරුදු පිළිතුර ලබාදුන් බව කියන අධ්යක්ෂ ජනරාල් රෙවාන් වික්‍රමසූරිය, අදාළ කරුණු ඉදිරි කොමිෂන් රැස්වීමට ඉදිරිපත් කර උපදෙස් ලබාගන්නා බවට ලිඛිතව පොරොන්දු වී ඇත. එහෙත් අද නොවැම්බර් 02 දිනට එම විමසීම සිදුකර හරියටම මාසයක් ගතවී ඇතත්, 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ප්‍රකාරව සමස්ත පරිපාලනයට හා බඳවාගැනීම්වලට සෘජුව වගකිව යුතු ප්‍රධාන විධායකයා වන අධ්යක්ෂ ජනරාල්වරයා කිසිදු නිල පැහැදිලි කිරීමක් නොකර දිගින් දිගටම මුණිවත රකිමින් සිටියි.
ස්වාධීන නීති ප්‍රධානියෙකු නොමැතිව මෙවැනි විශේෂ ආර්ථික කලාපයක් (SEZ) මෙහෙයවීම නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පසුගියදා පාර්ලිමේන්තුවේදීද අනාවරණය කළ අතර, නිලධාරීන් ලබන සුපිරි වැටුප් හා වරප්‍රසාද පිළිබඳ තොරතුරු විමසූ විට තනි තනි වැටුප් විස්තර වසන් කරමින් සමස්ත වැටුප් බිල පමණක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුව පවා නොමඟ යැවීමට කොමිසම කටයුතු කර තිබිණි.
මේ හමුවේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්රමුඛ කමිටුව හමුවේ දැවැන්ත වගකීමක් නිර්මාණය වී තිබේ. මාධ්‍ය ප්‍රශ්න කිරීම්වලින් පලායන අධ්යක්ෂ ජනරාල් රෙවාන් වික්‍රමසූරිය ඇතුළු කොමිසමේ පාලනාධිකාරිය වහාම COPF හමුවට කැඳවීම, සම්මුඛ පරීක්ෂණ ලකුණු ලේඛන සහ සඟවා ඇති පෞද්ගලික වැටුප් විස්තර විගණනයට ලක්කිරීම කඩිනමින් සිදුවිය යුතුව ඇත. එසේම ස්වාධීන නීති අධීක්ෂණයකින් තොරව පසුගිය කාලසීමාවේ අත්සන් කරන ලද සියලු වාණිජ හා ඉඩම් බදුදීම් ගිවිසුම් පිළිබඳ විශේෂ අධිකරණමය විගණනයක් (Forensic Audit) සිදුකිරීම රටේ මහජන දේපළ ආරක්ෂා කරගැනීම උදෙසා අත්‍යවශ්‍ය පියවරක් බව පෙන්වා දිය හැකිය.





