ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ පෙරළියක්: ‘පැමිණිල්ලේ සාක්ෂි බිංදුවයි’ කියා විත්තිය කළ පැය 5ක නීති සටන මැද විත්තියේ සාක්ෂි කැඳවූ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝගය නීති ක්ෂේත්රයම කළඹයි!
2010 වසරේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති ආන්දෝලනාත්මක නඩුවේ, විත්තියේ නඩුව ලබන 12 සහ 13 වැනිදා කැඳවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කිරීමත් සමඟ මෙරට නීති ක්ෂේත්රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
නයනා සෙනවිරත්න (සභාපති විනිසුරු), නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවේ, ඉකුත් 05 වැනිදා පැමිණිල්ලේ නඩුව නිල වශයෙන් අවසන් කිරීමෙන් අනතුරුවය. එහිදී විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති චෝදනා 17 තහවුරු කිරීමට පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි තුළින් බැලූ බැල්මටවත් (prima facie) කිසිදු සාධාරණ පදනමක් ගොඩනැගී නොමැති බව පෙන්වා දෙමින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය ප්‍රකාරව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ ප්‍රබල නීතිඥ මඩුල්ලක් විසින් පැය පහකට අධික කාලයක් මුළුල්ලේ අධිකරණය හමුවේ කරුණු තහවුරු කරනු ලැබීය.
“මිනී මැරුවා තබා මෘත දේහයක්වත් නෑ”: ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කළ තර්කය
පළමුවැනි, දෙවැනි සහ හයවැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ, එක්නැලිගොඩ මියගිය බවට හෝ ඔහුව ඝාතනය කළේ මෙම හමුදා බුද්ධි නිලධාරීන් බවට අධිකරණය හමුවේ කිසිදු සාක්ෂියකින් තහවුරු වී නොමැති බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 293 වගන්තිය යටතේ මිනීමැරුම් චෝදනාවක් ඔප්පු කිරීමට අවශ්‍ය මූලික නෛතික සාධක හෝ මෘත දේහයක් (Corpus delicti) නොමැති පසුබිමක හුදු උපකල්පනයන් මත පමණක් චෝදනා ගොනු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එක්නැලිගොඩ අතුරුදන් වූවා යැයි කියන්නේ 2010 ජනවාරි 26 වැනිදා පැවති තීරණාත්මක ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් ජනවාරි 24 වැනිදා බවත්, ජනවාරි 25 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙය ආණ්ඩුවට එරෙහිව ඡන්ද අඩු කිරීමේ මැතිවරණ තුරුම්පුවක් ලෙස ප්‍රචාරය කළ බවත් ඔහු සඳහන් කළේය. එක්නැලිගොඩ තලවතුගොඩට පැමිණි බවට දුරකථන කුළුණු වාර්තාවලින් පෙනුණද ඔහුව පැහැරගත් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, ගිරිතලේ කඳවුරට රැගෙන ගිය බව කියන ප්‍රධාන සාක්ෂිකරුවන් වන රංබණ්ඩා සහ මුරලිගේ සාක්ෂි මුළුමනින්ම එකිනෙකට පරස්පර බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය. ශානි අබේසේකර සහ ප්‍රේමතිලක වැනි විමර්ශන නිලධාරීන් තමන්ට අවශ්‍ය පරිදි සාක්ෂිකරුවන් මෙහෙයවමින් ගොතන ලද නඩුවක් හමුවේ, ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් සේවය කළ බුද්ධි අංශ නිලධාරීන් මෙලෙස චූදිතයන් කිරීම බරපතළ අසාධාරණයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මුරලිගේ පාවාදීම් සහ එක්නැලිගොඩගේ ඡායාරූපය අඳුනන්නේ නැතිවීම
තුන්වන සහ පස්වැනි විත්තිකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ රනිල් සමරසූරිය මහතා පෙන්වා දුන්නේ, පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන මුරලි යනු තම වාසිය තකා ඕනෑම පාර්ශ්වයක් පාවාදුන් පුද්ගලයකු බවයි. විශේෂයෙන්ම විමර්ශන නිලධාරීන් විසින් ප්‍රගීත් එක්නැලිගොඩගේ ඡායාරූපය පෙන්වා ප්‍රශ්න කළ අවස්ථාවේදී මුරලි එම පුද්ගලයාව හඳුනන්නේ නැතැයි ප්‍රකාශ කර තිබියදී, අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙයවීමේදී එම ඡායාරූපය ඉදිරිපත් නොකළේ පැමිණිල්ලට අවාසි වේ යැයි බියෙන් බව ඔහු තර්ක කළේය. එක්නැලිගොඩගේ නමින් ලියාපදිංචි කිසිදු දුරකථන අංකයක් අදාළ කාලයේ භාවිත වී නොමැති බවත්, ඉදිරිපත් කළ සාක්ෂිවලින් කිසිදු පාරිවේශික සාක්ෂියක් හෝ තහවුරු නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
45න් 35කගෙන්ම හරස් ප්‍රශ්නවත් අහන්න දෙයක් නෑ: නීතිඥ අසිත් සිරිවර්ධනගේ විග්‍රහය
අනතුරුව 9 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, පැමිණිල්ල මෙහෙයවූ සාක්ෂිකරුවන් 45 දෙනාගෙන් 35 දෙනෙකුගෙන්ම හරස් ප්‍රශ්න ඇසීමට තරම්වත් ඔවුන්ගේ සාක්ෂි මෙම විත්තිකරුවන්ට අදාළ වී නොතිබූ බවයි. 2010දී ආරක්ෂක ලේකම්වරයාගේ වුවමනාවට මෙම අපරාධය සිදුවූ බව වක්‍රාකාරයෙන් කීමට පැමිණිල්ල උත්සාහ කළද, ඔහුම 2019දී ජනාධිපති වී දින 11ක් ඇතුළත මෙම අධිචෝදනා පත්‍රය ගොනුකිරීම මඟින්ම එම චෝදනාව විහිළුවක් බවට පත්වන බව හෙතෙම කියා සිටියේය.
ගොනු කර ඇති ලේඛන 52න් ලේඛන 7ක් මෙතෙක් ඔප්පු කර නොමැති අතර, දෙවැනි විත්තිකරු බත්තරමුල්ලට පැමිණියේ යැයි කියන දුරකථන විශ්ලේෂණ වාර්තාව පොතුහැරින් ඔබ්බට නිරීක්ෂණය නොවන බවද ඔහු අනාවරණය කළේය. සාක්ෂි ආඥා පනතේ 5 වැනි වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව, සාක්ෂි නොමැති තත්ත්වයක් තුළ විත්තිකරුවන් තවදුරටත් රඳවා නොගෙන නිදොස් කොට නිදහස් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු උපුටා දක්වමින් ඔහු කරුණු තහවුරු කළේය.
විනාඩි 45න් ලැබුණු අනපේක්ෂිත තීන්දුව
පැය පහකට අධික කාලයක් පුරා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෙම දීර්ඝ හා බරපතළ නෛතික කරුණු දැක්වීම හමුවේ, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ තමන්ට ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා විනාඩි 45ක කෙටි විවේකයකින් පසු යළි රැස්වූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, විත්තියේ නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විත්තිවාචකය කැඳවීමට නියෝග කළේය. විත්තිකරුවන්ට විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට, සාක්ෂි කූඩුවට පැමිණ දිවුරුම් පිට සාක්ෂි දීමට, තමන් වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවීමට හෝ නිහඬව සිටීමට අයිතිය පවතින බව විනිසුරු මඩුල්ල දැනුම් දුන් අතර, ඒ අනුව විත්තියේ නඩුව ලබන නොවැම්බර් 12 සහ 13 යන දිනවල කැඳවීමට දින නියම කෙරිණි.
පැමිණිල්ලේ සාක්ෂිවල බරපතළ හිඩැස් සහ පරස්පරතා පවතින බව පෙනෙන්නට තිබියදීත්, විත්තියේ නඩුව කැඳවීමට ගත් මෙම ක්ෂණික තීරණය අධිකරණ ශාලාවේ රැඳී සිටි නීතිඥවරුන් ඇතුළු බොහෝ දෙනෙකු මවිතයට පත්කළ සිදුවීමක් විය. වසර ගණනාවක් තිස්සේ සාක්ෂි නොමැති චෝදනා හමුවේ පීඩා විඳි බුද්ධි අංශ නිලධාරීන්ට යළිත් සාක්ෂි කූඩුවට නැගීමට සිදුවීම හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය පිළිබඳව සාධාරණ මහජන විමසුමක් නිර්මාණය වී ඇති බව ‘කයිවාරු.net’ නිරීක්ෂණය කරයි.





