MTV මාධ්‍ය ජාලයට (සිරසට) රුපියල් කෝටි 10.4ක්, හරිහැටි කියනවා නම් රුපියල් 104,603,876ක මුදලක් ටුවරිස්ට් බෝර්ඩ් එකේ ජාත්‍යන්තර නාලිකාවන් සඳහා වෙන්කර ඇති අරමුදලෙන් කපා දේශීය නාලිකා සඳහා යැයි වෙන්කර දෙන්නේ වෙන කවුරුවත් නොව සංචාරක සේවා ඇමති විජිත හේරත්ය. පසුගිය වසරේදී ආසියානු විකාශන සංගමයේ (ABU) මෙම සමුළුව පවත්වන්නට යෝජනාව ගෙන ආවේ ජාතික රූපවාහිනියටය. එහිදී එම ආයතනයේ සභාපති ගිහාන් විසින් එය කෙළින්ම ප්‍රතික්ෂේප කළේ අපට මෙවැනි වියදම් දරන්නට මුදල් නැතැයි පවසමිනි. රාජ්‍ය රූපවාහිනිය මුදල් නැතැයි කියා අතපිසදා ගත් මේ සමුළුව, සිරස කිසිදු පැකිලීමකින් තොරව කරට ගත්තේ ආණ්ඩුවෙන් තමන්ට ඕනෑ පදයකට මුදල් ගලවාගත හැකි බව හොඳාකාරවම දන්නා නිසාය. රජයේ රූපවාහිනියට සත පහක් නොදුන් ඇමති විජිත, සිරසට මේ තරම් මහජන මුදල් කන්දරාවක් ගෙවන්නට හදිසි වූයේ ඇයි? ඒ අන් කිසිවකට නොව, අගමැති පුටුවෙන් හරිනිව පරයා යෑමේ බල පෙරේතකමටය. එම කැම්පේන් එකේ කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ සිරසටය. සිරස හෙට අනිද්දා සිට හරිනිව හම ගසනු ඇත; විජිතව ‘වැඩකාරයා’ කර කරේ තියාගෙන උඩ දමනු ඇත. ඩීල් එක අන්න ඒකය!
මේ යටිකූට්ටු ගනුදෙනුව වසාගන්නට සංචාරක මණ්ඩලයේ ලියකියවිලි පෙරළා ඇත්තේ මහ දවල් කළ මංකොල්ලයක ආකාරයෙනි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවලින් හෙළිදරව් වන ආකාරයට, ලෝකය පුරා රට ප්‍රවර්ධනය කරන්නට වෙන් කර තිබූ “Promotion of Destination through Channels Coinciding with International Activities through TV Advertising (International)” කියන රුපියල් මිලියන 350ක දැවැන්ත ජාත්‍යන්තර ප්‍රචාරණ අරමුදලෙන් රුපියල් 104,603,876ක් එකවර කපාගෙන ඇත. එසේ කපාගත් මුදල දේශීය මාධ්‍ය වැඩසටහන් අයවැයට (Local Media budget 2026 – Local Media FAMS/Media Gatherings) හරවා, කෙළින්ම MTV ආයතනය වෙනුවෙන් වෙන් කරවාගෙන ඇත්තේ නීති රීතිවලටත් පයින් ගසමිනි.
එතැනින් නොනැවතුණු ඇමති විජිත, අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 26/1947/807/035 යටතේ 2026 සැප්තැම්බර් 17 දිනැතිව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින්, මුළු මුදලින් 60%ක් වන රුපියල් 62,762,326ක මුදලක් සැප්තැම්බර් 30 වන දිනට පෙර අත්තිකාරම් ලෙසම සිරසට බැර කිරීමටත්, ඉතිරි 40% වන රුපියල් 41,841,550 නොවැම්බර් 17ට පෙර ගෙවා නිම කිරීමටත් කටයුතු සලසා ඇත.
මේ කෝටි දහය හමාර වියදම් කරන හැටි දුටු විට ඕනෑම මිනිසෙකුට කේන්ති යන්නේ නිරායාසයෙනි. ජනතාවගේ බදු මුදලින් සිරස දමා ඇති මූල්‍ය ඇස්තමේන්තුව මෙසේය:
කොළඹ ‘Cinnamon Life City of Dreams’ සුපිරි හෝටලයේ රැස්වීම් ශාලා සහ කෑම බීම සඳහා පමණක් රුපියල් 46,542,180කි.
ආරාධිතයන්ට පිළිගන්වන ‘Welcome Pack’ (තෑගි පාර්සල්, පෑන්, බෑග්) සඳහා පමණක් රුපියල් ලක්ෂ 40කි.
මහරජාගේම Stein Studios ඇතුළු නිෂ්පාදන සහ ශබ්ද-ආලෝක වියදම් වෙනුවෙන් තවත් රුපියල් 24,658,254කි.
සංගීත උළෙලේ කොක්ටේල් සහ රාත්‍රී භෝජන සංග්‍රහයට තවත් රුපියල් ලක්ෂ 50කට අධික මුදලකි.
පස්වන දිනයේ ගාල්ල සහ බෙන්තොට යන එක්දින විනෝද චාරිකාවේ ජල ක්‍රීඩා (Water sports) සඳහා රුපියල් ලක්ෂ 35ක්, Cinnamon Bentota දිවා ආහාරයට රුපියල් ලක්ෂ 70ක් සහ ගාලු කොටුව නැරඹීමට රුපියල් ලක්ෂ 14ක් ඇතුළුව විනෝද චාරිකාවට පමණක් රුපියල් 12,618,000ක්!
මේ සියල්ලටම අමතරව රජයට ලැබිය යුතු SSCL සහ VAT බදු වෙනුවෙන් රුපියල් 18,270,890ක මුදලක්ද මහජන මුදලින්ම සිරස වෙනුවෙන් ගෙවා දමනු ලබයි.
ජනාධිපති අනුර කුමාර විජිතලාගේ මේ යටිකූට්ටු වැඩ එක්කෝ දන්නේ නැත; නැතිනම් නොදන්නවා සේ ඉන්නවා විය යුතුය. එහෙත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක විසින්ම 2026 සැප්තැම්බර් 28 දිනැතිව මෙම කැබිනට් සංදේශය සඳහා සිය නිල නිරීක්ෂණ නිකුත් කරමින්, යෝජිත ගෙවීම්වලට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී අත්සන් තබා ඇති පසුබිමක ඔහුටද මෙයින් ගැලවී යා නොහැක. හැබැයි ඔය කොයි දේශපාලන සෙල්ලමටත් විසිවෙන්නේ අහිංසක මිනිසුන්ගේ රජයේ බදු මුදල්ය.
ඇත්තම කෑල්ල මේකය. දැන් මුළු අසුචි බාල්දියම හැලී ඇත්තේ අනුර කුමාරගේ හිස මතය. ගමින් ගමට ගොස් යළි ඇවිලවූ ජනමතය ගල් ආඳෙකුගේ අගමැති හීනයක් නිසා යළි හළුවී ගොස් ඇත. අගමැති හරිනියට බලයක් නැති බව ඇත්තය. වැඩ නොදන්නා බවද ඇත්තය. ඒත් ඇය මේ ආකාරයට අසික්කිත විදිහට පෞද්ගලික මාධ්‍ය මුදලාලිලා නඩත්තු කරමින් ජනතා මුදල් කාබාසිනියා කරන්නේ නැත. එසේ තනතුර වෙනස් කරනවා නම් ආණ්ඩුවේ අවංක එකෙකුට ඉන්නේ බිමල් රත්නායකය. හොස්ස ළඟින් මැස්ස යන්නට බැරි මාන්නයක් සහ නොරුස්සන ගතියක් තියෙනවා ඇත්තය. ඒත් ඔහු වැඩ්ඩෙකි; කෙළින් වැඩ කරන අවංකයෙකි. ඉන්නේ එච්චරය. දෙනවා නම් මෑන්ට දිය යුතුය. නැත්නම් ඔය යටත්විජිත මානසිකත්වයේ කළු ගල් බෝර ගසා හෝ ඉවත් කළ යුතුය. විජිතයා කුහකයෙකි.
මේ මහජන මුදල් නාස්තිකාර ගෙවීමට මේ ආණ්ඩුව වගඋත්තර බැඳිය යුතුමය. අල්ලස් කොමිසම හෝ රංග දිසානායකලා තමන්ගේ ප්‍රතිරූපය හදාගන්නට වේදිකාවල පොර ටෝක් දමමින් තවත් බලා ඉන්නවාට වඩා, මේ අල්ලස සහ මුදල් අවභාවිතය ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුය. තමන් ළඟට පැමිණිලි ගෙනැවිත් දමනකල් මඟබලමින් ඉන්නට නම් ඔය ආයතනවලින් රටට ඇති වැඩක් නැත. සෙස්ස ලස්සට බලාගත හැකිය.





