ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) පවතින පරිපාලන සහ විනිවිදභාවයේ බරපතළ දුර්වලතා හේතුවෙන්, වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යාපන අනාගතය අවිනිශ්චිත වී ඇති අතර KDU ශික්ෂණ රෝහලේ රෝගී සත්කාරක සේවාවන් දැඩි අවදානමකට ලක්ව ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
විශේෂයෙන්ම 2025/2026 වෛද්‍ය පීඨ බඳවාගැනීම්වලින් මෙරට සිවිල් සිසුන් හදිසියේම ඉවත් කර, එම අවස්ථාව හමුදා කැඩෙට් නිලධාරීන්ට සහ විදේශීය සිසුන්ට පමණක් සීමා කිරීමට පියවර ගැනීම මෙරට සිසුන් සහ දෙමාපියන් දැඩි අර්බුදයකට ඇද දමා තිබේ. නීතිමය රාමුව සංශෝධනය කරන තෙක් මෙය තාවකාලික තීරණයක් බව රජය ප්‍රකාශ කළද, නිශ්චිත වැඩපිළිවෙළක් හෝ කාලසටහනක් නොමැති වීමෙන් උසස් පෙළ ඉහළින් සමත් වූ සිසුන්ගේ වෛද්‍ය සිහිනය බොඳවීමේ අවදානමක් මතු කර ඇත.
1981 KDU ආරම්භක පනත මඟින් සිවිල් දිවා සිසුන් බඳවා ගැනීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන සලසා නොතිබුණද, 2012 සිට ගාස්තු අයකරමින් සිවිල් සිසුන් ඇතුළත් කරගැනීම හරහා නිර්මාණය වූ ප්‍රතිපත්තිමය ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ විසඳා නොතිබීම මෙම ව්‍යාකූලත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
අනෙක් අතට, KDU ශික්ෂණ රෝහල ක්‍රියාත්මක වන්නේ රජයේ රෝහල් ආකෘතියකටද නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකටද යන්න පිළිබඳව ‘කෝප්’ (COPE) කමිටුව හමුවේ පවා බරපතළ ගැටලු මතු විය. රෝහලේ මෙහෙයුම් ආකෘතිය, ගාස්තු අය කිරීම් සහ කාර්ය මණ්ඩල වගකීම් පිළිබඳ පැහැදිලි විනිවිදභාවයක් නොමැති වීමෙන් මහජනතාව මෙන්ම රෝගීහුද දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මීට අමතරව, රෝහලේ අකුණු සන්නායක පද්ධතියෙන් රුපියල් මිලියන 8.44ක් වටිනා මීටර් 2,199ක තඹ පටි අතුරුදන්වීම, මිල අධික වෛද්‍ය උපකරණ නිකරුණේ දිරාපත් වීමට ඉඩහැර තිබීම සහ දැඩි සත්කාර ඒකකවල (ICU) සේවාවන් කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් සීමා වී පැවතීම ආයතනික අධීක්ෂණයේ පවතින බරපතළ කඩාවැටීමක් ලෙස පෙන්වා දිය හැකිය.
එමෙන්ම විශ්වවිද්‍යාලය හා සම්බන්ධ CUE Technologies සහ CARE Technology වැනි වාණිජ ආයතනවල මූල්‍ය හා ප්‍රසම්පාදන කටයුතු පිළිබඳවද ස්වාධීන විමර්ශනයක් අවශ්‍ය බවට මත පළවේ. මේ වන විට අලුතින් පත්ව සිටින උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා ඉදිරියේ, මෙම සියලු ගැටලු නිරාකරණය කර ආයතනය තුළ යහපාලනය හා විනිවිදභාවය තහවුරු කිරීමේ දැවැන්ත අභියෝගයක් නිර්මාණය වී තිබේ.





