කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

“කෙහෙළිය CID යද්දී රනිල්ගේ හිතවතාගේ පුතුන් දෙන්නා Isolez සමාගමෙන් පැනගිය හැටි: සාගලගේ ගෝලයා රිංගවූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘සැඟවුණු අමුත්තා’ සහ බාල බෙහෙත් නඩුවේ යටගැසූ ඇත්ත මෙන්න!”

බාල බෙහෙත් නඩුවෙන් රනිල්-සාගල ගෝලයන් පැනගිය හැටි!!!

Isolez සමාගමේ 40%ක කොටස් අයිතිකාර පුතුන් දෙන්නා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘සැඟවුණු අමුත්තා’ ‘කයිවාරු.net’ හෙළි කරයි!

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් ඖෂධ වංචාව පිටුපස රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක ප්‍රමුඛ දේශපාලන කඳවුරේ සෘජු ගනුදෙනු, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ අභිරහස් මැදිහත්වීම් සහ පැමිණිල්ල සිදුකළ වහාම සමාගමෙන් පලාගිය ප්‍රබල කොටස්කරුවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ නීතිපති දෙපාර්තමේන්තුව හිතාමතා වසන් කළ කම්පනකාරී සත්‍යයන් පෙළක් ‘කයිවාරු.net’ විමර්ශන අංශය වෙත අනාවරණය වේ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

මාලිගාකන්ද අධිකරණයේදී ඇතැම් නීති නිලධාරීන් සහ පක්ෂග්‍රාහී මාධ්‍ය විසින් නිර්මාණය කළ ‘කෙහෙළිය හොරා’ යන මවාපෑම ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ බිඳවැටෙමින් තිබියදී, මෙම මහා ඖෂධ ජාවාරම මෙහෙයවූ සැබෑ මහමොළකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී හෙළිවූ කරුණු මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රය මුළුමනින්ම උඩුයටිකුරු කරන්නකි.

යහපාලන උපත සහ රනිල් බලයට ආ විගස සිදු වූ 40%ක කොටස් පැවරීම

මෙම මතභේදාත්මක ඖෂධ මෙරටට සැපයූ ‘Isolez Biotech Pharma AG Limited’ සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2016 අගෝස්තු 24 වන දින යහපාලන රජය සමයේ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාව සිටි වකවානුවේදීය. එම කාලයේදී මෙම සමාගම වෙත රජයෙන් ඖෂධ මිලදී ගැනීමේ සහතිකයක් (Buy Back Guarantee) ලබාදීමට කටයුතු කර තිබූ අතර, ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය GMP (Good Manufacturing Practices) සහතිකය ලබාදීමේ මූලික අදියරද සම්පූර්ණ කර දී තිබිණි.

කෙසේ වෙතත්, මෙම සමාගමේ සැබෑ දේශපාලන හැරවුම සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව 2022 ඔක්තෝබර් 06 වන දාය. එදින එක්සත් ජාතික පක්ෂයේ කැලණිය සංවිධායක මෙන්ම රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයෙකු වූ තුඩුවගේ බෙවන් පෙරේරාගේ පුතුන් දෙදෙනා වන තුඩුවගේ මලිත් පෙරේරා සහ තුඩුවගේ මනෝජ් පෙරේරා යන අය එකවර Isolez සමාගමේ 40%ක දැවැන්ත කොටස් හිමිකාරිත්වය තමන් සතු කරගැනීමට සමත් විය. රාජ්‍ය බලය මාරුවීමත් සමඟම මෙවැනි සමාගමක අයිතියෙන් 40%ක් ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතාගේ පුතුන් අතට පත්වීම හුදු අහම්බයක් විය නොහැක.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් NMRA එකට රිංගවූ ‘සැඟවුණු අමුත්තා’

බෙවන් පෙරේරාගේ පුතුන් දෙදෙනා කොටස්කරුවන්ව සිටි කාලසීමාව තුළ සමාගමට GMP සහතිකය කෙසේ හෝ ලබාගැනීම සඳහා දැවැන්ත රාජ්‍ය බලපෑමක් එල්ල වී තිබේ. එහිදී සිදුවූ බරපතළම අක්‍රමිකතාව වන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මඟින් සිදුකරන අතිශය රහසිගත හා තාක්ෂණික පරීක්ෂණ චාරිකාවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සෘජුවම මැදිහත් වීමයි.

NMRA නිල ලේඛනවලට අනුව, එවකට රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ අතිසමීපතම ගෝලයෙකු වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ශ්‍රීනාත් ගමගේ (Srinath Gamage) නමැත්තා 2023 ජනවාරි 26 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික සාකච්ඡාවට සහභාගි වී ඇත. එපමණක් නොව, 2023 පෙබරවාරි 20 සහ 22 යන දිනවල කටුනායක පිහිටි Isolez කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමට ගිය NMRA නිලධාරී කණ්ඩායම සමඟ “නිරීක්ෂකයෙකු” (Observer) ලෙස මෙම ශ්‍රීනාත් ගමගේ සහභාගි වී ඇති බව නිල වාර්තාවල පැහැදිලිව සටහන්ව තිබේ.

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රවීණ විෂය නිලධාරීන්ට පමණක් සීමා වූ පරීක්ෂාවකට සාගල රත්නායකගේ ගෝලයා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ලේබලයෙන් රිංගුවේ කාගේ බලයෙන්ද යන්න පැහැදිලිය. එහෙත් මෙවැනි දැවැන්ත දේශපාලන බලපෑම් පැවතියද, කෙහෙළිය රඹුක්වැල්ලගේ කාලයේදී මෙම සමාගමට GMP සහතිකය ලබාදීම NMRA ආයතනය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.

පැමිණිල්ල දැමූ සැණින් කොටස්කරුවන් පැනගිය හැටි සහ CIDයේ අන්ධභාවය

2023 ඔක්තෝබර් මුල් සතියේදී ඖෂධ සැපයීමේ අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරු ලද වහාම කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ උපදෙස් පිට CIDය වෙත නිල ලිඛිත පැමිණිල්ලක් යොමු කෙරිණි. එම පැමිණිල්ලත් සමඟම සිදුවූ ක්ෂණික සහ අතිශය සැකකටයුතු සිදුවීම වන්නේ, 2023 ඔක්තෝබර් 10 වන දින එතෙක් Isolez හි 40%ක කොටස් හිමිව සිටි මලිත් පෙරේරා සහ මනෝජ් පෙරේරා හදිසියේම සමාගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී, සිය කොටස් සුදත් ජානක ප්‍රනාන්දු වෙත පවරා ක්ෂණිකව පලායාමයි.

වංචාව හෙළිවී පරීක්ෂණ ආරම්භ වෙද්දීම රනිල්-සාගල කඳවුරේ සමීපතම හවුල්කරුවන් මෙලෙස සමාගම අතහැර දිවයද්දී, නඩු මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගමට හෝ එවකට CIDයේ විමර්ශන මෙහෙයවූ (කළුතර හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ සමීපතමයෙකු ලෙස ප්‍රකට) OIC ජයන්ත පයාගල ඇතුළු නිලධාරීන්ට මෙම මහා දේශපාලන පලායාම නොපෙනුණේ මන්ද?

ඒ වෙනුවට ඔවුන් සිදුකළේ, ජනාධිපති රනිල්, සාගල රත්නායක සහ ඔවුන්ගේ ගෝලයා වූ ශ්‍රීනාත් ගමගේගේ අදිසි හස්තයන් සියල්ල නීතියෙන් සඟවා, මුල් පැමිණිල්ල දැමූ අමාත්‍යවරයාවම කුමන්ත්‍රණකරුවෙකු කර මාස 9ක් සිරගත කර තැබීමයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ රැඳී සිටි තාක් කල් සැබෑ මහමොළකරුවන් රැකගනිමින් පැමිණිලිකරුවා හිරේ දැමීමේ මෙම දේශපාලන මෙහෙයුම අකුරටම ක්‍රියාත්මක විය.

දේශපාලන බලය, ඖෂධ මාෆියාව සහ උසස්වීම් බලාපොරොත්තුවෙන් කටයුතු කළ විමර්ශකයින් එක්ව රඟදැක්වූ මෙම දේශපාලන නාට්‍යයේ මීළඟ අදියර ලෙස, “ABC Pharma” නම් සමාගමේ සැඟවුණු භූමිකාව පිළිබඳ තවත් තොරතුරු රැසක් ඉදිරියේදී ‘කයිවාරු.net’ වෙතින් බලාපොරොත්තු වන්න.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles