කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

“ඩුබායි ඉඳන් සේදවත්තට ගෙනාපු රුපියල් කෝටි 60ක නීතිවිරෝධී සිගරට් කන්ටේනර් ඩීල් එක ‘කයිවාරු.net’ හෙළි කරයි!!!”

ඩුබායි (Dubai) රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට හොර රහසේම රැගෙන එන ලද රුපියල් කෝටි 60කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි ලක්ෂ 57ක් අඩංගු දැවැන්ත බහාලුමක් (Container) සේදවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බහාලුම් අංගනයක සඟවා තිබියදී පුද්ගලයින් දෙදෙනෙකුද සමග බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

රජයට අයවිය යුතු කෝටි ප්‍රකෝටි ගණනක අතිවිශාල බදු ආදායම් අහිමි කරමින්, සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙරටට ගොඩබා තිබූ මෙම බහාලුම තුළ ප්‍රකට ‘මැන්චෙස්ටර්’ (Manchester) වර්ගයේ නීතිවිරෝධී දුම්වැටි අසුරා තිබූ බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ. මෙතරම් දැවැන්ත වටිනාකමකින් යුත් තහනම් භාණ්ඩ තොගයක් කිසිදු බාධාවකින් තොරව මෙරටට ඇතුළු කර සේදවත්ත ප්‍රදේශයේ පුද්ගලික අංගනයක් දක්වා ප්‍රවාහනය කිරීමට සමත්වීම පිටුපස රේගු නිලධාරීන්ගේ හෝ බලධාරීන්ගේ කිසියම් ‘ඩීල් එකක්’ ක්‍රියාත්මක වූයේද යන්න දැඩි සැකයක් මතුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල සහ කටුගස්තොට යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකි. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් සේදවත්ත පෞද්ගලික බහාලුම් අංගනය වටලා මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී (ASP) ඉන්දික ධර්මරත්න මහතාගේ සෘජු උපදෙස් මත,එම කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායම් II භාර පොලිස් පරීක්ෂක (IP) පැතුම් අංජන මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ. ඊට පොලිස් සැරයන් අනුරාධ (73086), පොලිස් කොස්තාපල්වරුන් වන අනුරාධ (11713), නිමල් (26536), නුවරංග (100486) සහ සංජීව (9055) යන නිලධාරීහු සහභාගි වූහ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

සාමාන්‍ය ජනතාව මත අධික බදු බර පටවමින් සිටින පසුබිමක, මෙවැනි මහා පරිමාණ ජාවාරම්කරුවන් රුපියල් කෝටි ගණනින් රටේ ආර්ථිකය සූරාකෑමට දරන උත්සාහයන් පිටුපස සිටින සැබෑ මහ මොළකරුවන් සහ ඔවුන්ට රැකවරණය දුන් තිරය පිටුපස පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒම වෙනුවෙන් බලධාරීන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය දෙස මුළු රටම දැඩි විමසිල්ලෙන් පසුවේ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles