නිදන කාමරය තුළදී රූපවාහිනී නිවේදිකාව ලේ විලක් කළ සැමියාගේ පාපොච්චාරණය එළියට!
පාකිස්තානයම කැළඹූ 92 News මාධ්‍යවේදිනී රාබියා අහ්සාන් ඝාතනය
පාකිස්තානයේ ප්‍රකට රූපවාහිනී මාධ්‍යවේදිනියක සහ පුවත් නිවේදිකාවක වන 41 හැවිරිදි රාබියා අහ්සාන් (Rabia Ahsan) රාවල්පින්ඩිහි පිහිටි සිය නිවසේ නිදන කාමරය තුළදී වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කර තිබියදී සොයාගැනීමේ සිදුවීමත් සමඟ සමස්ත පාකිස්තානය පුරා දැඩි කම්පනයක් සහ ආන්දෝලනයක් හටගෙන ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
පස්වරු 3.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී මියගිය නිවේදිකාවගේ මව සහ සහෝදරිය නිවසේ ඉදිරිපස මිදුලේ රැඳී සිට ඇති අතර, නිදන කාමරය දෙසින් ඇසුණු වෙඩි හඬත් සමඟ ඇයගේ සොහොයුරිය වන අල්විනා කාමරය වෙත දිවගොස් තිබේ. එහිදී රාබියා ලේ විලක් මැද බිම වැටී සිට ඇති අතර, ඇයගේ සැමියා වන අහ්සාන් තාහීර් (Ahsan Tahir) අතේ පිස්තෝලයක් රඳවාගෙන සිටිනු දැකගත හැකිවූ බව පොලිස් පළමු තොරතුරු වාර්තාවේ (FIR) සඳහන් වේ.
විදේශගත පාකිස්තානුවන්ගේ පදනමේ (Overseas Pakistanis Foundation – OPF) නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන ඇයගේ සැමියා වන අහ්සාන් තාහීර් වහාම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සිය බිරිඳ ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇති බව එරට ‘සමා’ (Samaa) පුවත් සේවය තහවුරු කරයි.
මුලදී මෙම වෙඩි තැබීම අත්වැරදීමකින් සිදුවූවක් බව පෙන්වීමට සැකකාර සැමියා උත්සාහ කළද, අපරාධය සිදුකිරීමට යොදාගත් බෝර් .30 වර්ගයේ පිස්තෝලය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ අවසරයක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී තිබේ. පන්ජාබ් වෝහාරික විද්‍යා අධිකාරිය (PFSA) විසින් එම අවිය සහ උණ්ඩ සොයාගෙන ඇති අතර, සිදුකළ මූලික ශරීර පරීක්ෂාවේදී ඇයගේ ගෙලට පහළින් සහ පිටුපස දකුණු පසින් වෙඩි උණ්ඩ වැදී බරපතළ තුවාල සිදුව තිබූ බව අනාවරණය විය. ඒ අනුව පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්තිය යටතේ මිනීමැරුම් චෝදනා ගොනු කරමින් සැකකරුට එරෙහිව නඩු පවරා ඇත.
දියණියන් දෙදෙනෙකුගේ මවක වන රාබියා අහ්සාන් පාකිස්තානයේ ප්රමුඛ ‘92 News’ නාලිකාවේ සේවය කළ දක්ෂ මාධ්‍යවේදිනියකි. මෙම ඛේදනීය ඝාතනය සම්බන්ධයෙන් දැඩි කම්පනය පළ කරමින් පාකිස්තාන ජනාධිපති ආර්යා අසීෆා භූතෝ-සර්දාරි (Aseefa Bhutto-Zardari) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මීට මාස තුනකට පෙර ඝාතනයට ලක්වූ හිනා ජාවෙඩ්ගේ සිදුවීමෙන් පසු තවත් වෘත්තීය කාන්තාවක මෙලෙස බිලිවීම බරපතළ ඛේදවාචකයක් බවත්, කාන්තාවන්ට කිසිදු බියකින් තොරව ජීවත්වීමට සහ රැකියාවල නිරත වීමට ඇති අයිතිය තහවුරු කරමින් මෙම අපරාධය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදුකළ යුතු බවත්ය.






