” මීගමුව වෙරළෙන් අක්කර 6ක් ලන්සාගේ ගජමිතුරන්ට ලියා දීලා, UDA ඩිරෙක්ටර් පවුල පිටින් මාසයක් යුරෝපයේ සවාරි ගිය හැටි: අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල මෙන්න!”
නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා අක්කර 6ක මනරම් වෙරළ භූමි ප්‍රදේශයක් කිසිදු විනිවිදභාවයකින් තොරව සහ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගමකට හොර රහසේම බදු දීමේ මහා පරිමාණ දූෂණයක් සහ අල්ලස් ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
මෙම බරපතළ රාජ්‍ය දේපළ කොල්ලය සහ නීතිවිරෝධී ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රදේශයේ පුරවැසියෙකු වන කේ. ඒ. ඩී. සුමතිපාල මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්යක්ෂ ජනරාල්වරයා වෙත මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතද 2026 ඔක්තෝබර් 30 වන දින විධිමත් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පූර්ණ විමර්ශනයක් ඉල්ලා තිබේ.

අදාළ පැමිණිල්ල මඟින් හෙළිදරව් කර ඇති ආකාරයට, රාජ්‍ය ආයතනයක් සතු මෙවන් අතිශය වටිනා පොදු දේපළක් බදු දීමේදී අනුගමනය කළ යුතු විවෘත ටෙන්ඩර් කැඳවීම් හෝ නිසි රාජ්‍ය ප්‍රතිපත්තිමය පටිපාටීන් (Proper Procedure) කිසිවක් අනුගමනය නොකර, අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම තිරය පිටුපස සිදුවූ අත්තනෝමතික ‘ඩීල්’ එකක් ලෙස ක්‍රියාත්මක කර ඇත.
මෙම මහා පරිමාණ අක්රමිකතාව පිටුපස මීගමුව නගර සභාවේ හිටපු නගරාධිපති නිමල් ලන්සා සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු වන අනුර ප්‍රසන්න යන දෙදෙනා සෘජුවම සම්බන්ධ වී කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම නීතිවිරෝධී බදු දීමට පහසුකම් සැලසීමේ සන්තෝසම හෙවත් අල්ලස ලෙස, හිටපු නගරාධිපති නිමල් ලන්සාගේ මැදිහත්වීම මත UDA අධ්යක්ෂ අනුර ප්‍රසන්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මාසයක පමණ කාලයක් පුරා යුරෝපා රටවල් රැසක සුඛෝපභෝගී විදේශ සවාරියක නිරත වීමට අවස්ථාව සලසා දී ඇත.

වඩාත්ම තිගැස්ම දනවන කරුණ වන්නේ මෙම අධ්යක්ෂවරයාගේ සමස්ත යුරෝපා සංචාරය වෙනුවෙන් වැයවූ සියලුම ගුවන් ගමන්, නවාතැන් හා අනෙකුත් අධික වියදම් සම්පූර්ණයෙන්ම දරා ඇත්තේ අදාළ වෙරළ භූමිය නීතිවිරෝධී ලෙස බදු ලබාගත් “ANIMA VESTRA LEISURE PVT LTD” නමැති පෞද්ගලික සමාගම විසින් වීමයි. රාජ්‍ය නිලධාරියෙකු තම නිල බලය අයුතු ලෙස යොදාගනිමින් ජාතික සම්පත් පෞද්ගලික සමාගම්වලට පවරාදීම සහ ඊට හිලව් ලෙස විදේශ සංචාර අල්ලස් ලෙස ලබාගැනීම බරපතළ දණ්ඩනීය වරදක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
මහජනතාවගේ විනෝදාස්වාදය සහ පොදු භාවිතය සඳහා සුරක්ෂිතව පැවතිය යුතු මෙරට ප්‍රමුඛතම සංචාරක කලාපයක වෙරළ තීරයක්, දේශපාලන බලපුළුවන්කාරකම් සහ නිලධාරිවාදී දූෂණය හරහා මෙලෙස බිලිදීම හමුවේ අල්ලස් කොමිසම ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගන්නා ක්‍රියාමාර්ගය දෙස මුළු රටම දැඩි විමසිල්ලෙන් පසුවේ.





