“සමුළුව පෞද්ගලික – වියදම රජයෙන්: ABU සමුළුවේ නාමයෙන් සංචාරක ප්‍රවර්ධනයේ කෝටි 10ක් සිරසට පොම්ප කරන්න හැදූ හැටි මෙන්න!”
කොළඹදී පැවැත්වෙන ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වන මහා සමුළුවට සමගාමීව, MTV Channel (Private) Limited හෙවත් ‘සිරස’ මාධ්‍ය ජාලය වෙත ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) හරහා රුපියල් මිලියන 104කට (කෝටි 10.4කට) අධික දැවැන්ත අනුග්‍රාහකත්වයක් ලබාදීමේ ආන්දෝලනාත්මක ක්‍රියාවලියක් පිළිබඳ තොරතුරු ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
2026 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 03 දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුවේ සත්කාරකත්වය ආසියා පැසිෆික් විකාශන සංගමය විසින් 2024 වසරේදීම පුද්ගලික ආයතනයක් වන MTV නාලිකාව වෙත පවරා තිබුණද, එහි සමස්ත මූල්‍ය බර සංචාරක ප්‍රවර්ධනයේ නාමයෙන් මහජන බදු මුදල් මත පැටවීමට සැලසුම් කර ඇති ආකාරය අදාළ ලිපි ලේඛන මඟින් අනාවරණය වේ.
අයවැය ශීර්ෂ වෙනස් කිරීමේ සූක්ෂ්ම උප්පරවැට්ටිය
මෙම අනුග්‍රාහකත්වය MTV සමාගම වෙත ලබාදීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සිය අයවැය ප්‍රතිපාදන අත්තනෝමතික ලෙස වෙනස් කර ඇති බව හෙළිවේ. ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රචාරණ කටයුතු (TV Advertising – International) සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 350ක අයවැය ප්‍රතිපාදන අතුරින් රුපියල් 104,603,876ක මුදලක් දේශීය මාධ්‍ය අයවැය ශීර්ෂය වෙත මාරු කරමින් මෙම මුදල සිරස මාධ්‍ය ජාලයට බැර කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩලය පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ප්රවර්ධනයක් ලෙස හුවා දැක්වුවද, මෙහිදී සිදුව ඇත්තේ රාජ්‍ය අරමුදල් සෘජුවම තනි පුද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත පොම්ප කිරීමකි.
ගිවිසුමටත් පෙර කෝටි 6ක අත්තිකාරමක් ඉල්ලූ සැකකටයුතු කඩිනම
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ 2026 සැප්තැම්බර් 17 වන දිනදීය. එමඟින් අනුමත මුළු මුදලින් 60%ක්, එනම් රුපියල් 62,762,326ක අතිවිශාල මුදලක් 2026 සැප්තැම්බර් 30 දිනට පෙරාතුව MTV සමාගම වෙත කඩිනමින් ගෙවීමට අනුමැතිය ඉල්ලා තිබිණි.
මෙම කැබිනට් පත්‍රිකාවට අදාළව මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණ සැප්තැම්බර් 28 දින නිකුත් වූ අතර, කැබිනට් අනුමැතිය නිල වශයෙන් හිමිව ඇත්තේ ඔක්තෝබර් 06 වන දිනදීය. සමුළුව ආරම්භ වීමට මෙන්ම දෙපාර්ශ්වය අතර නිසි නීතිමය ගිවිසුම්ගත වීමක් පවා සම්පූර්ණ වීමට පෙර, රුපියල් මිලියන 62කට අධික මහජන මුදලක් පෞද්ගලික සමාගමකට අත්තිකාරම් ලෙස මුදාහැරීමට දැරූ උත්සාහය පිටුපස දැඩි සැකයක් මතුව තිබේ.
තරු පහේ හෝටල් සහ චාරිකා වියදම් රජයේ ගිණුමට
MTV සමාගම ඉදිරිපත් කළ ඇස්තමේන්තුවලට අනුව, Cinnamon Life සහ Stein Studios පරිශ්‍රයන්හි පැවැත්වෙන උත්සවයේ ස්ථාන කුලිය සහ ආහාර පාන වෙනුවෙන් පමණක් රුපියල් 46,542,180ක් වෙන් කර ඇත. මීට අමතරව නිෂ්පාදන වියදම් සඳහා රුපියල් 24,685,254ක් සහ විනෝද චාරිකා වෙනුවෙන් රුපියල් 12,618,000ක් ඇතුළුව වැට් (VAT) බදු සමඟ සමස්ත වියදම වූ රුපියල් මිලියන 104ක මුදලම රජය මත පටවා තිබේ. තමන්ට ලැබුණු ජාත්‍යන්තර සත්කාරකත්වයක් වෙනුවෙන් පුද්ගලික අනුග්‍රාහකයින් සොයාගැනීම වෙනුවට, සංචාරක ප්‍රවර්ධනයේ මුවාවෙන් සියලු පෞද්ගලික වියදම් රජයේ බදු මුදලින් පියවා ගැනීමට ඉඩදීම බරපතළ මූල්‍ය විනය කඩකිරීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

මුදල් අමාත්‍යාංශය දැමූ තිරිංග
මෙම යෝජනාවට මුදල් අමාත්‍යවරයා ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළද, ඒ සඳහා දැඩි කොන්දේසි පැනවීමට කටයුතු කර තිබේ. ඒ අනුව, අපේක්ෂිත ප්‍රවර්ධන ප්රතිලාභ මැනිය හැකි අයුරින් තහවුරු කරගත යුතු බවත්, පාර්ශ්වයන්ගේ වගකීම් සඳහන් කරමින් අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹිය යුතු බවත් නියම කර ඇත. එසේම එකඟ වූ සියලු කාර්යයන් නිසි පරිදි සම්පූර්ණ කළ බවට වන සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් ඉතිරි 40%ක මුදල (රුපියල් 41,841,550ක්) ගෙවිය යුතු බවට දැඩි නිරීක්ෂණයක් ඇතුළත් කර තිබේ. කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබා දී ඇත්තේ එම කොන්දේසිවලට යටත්වය.
හුදෙක් රුපියල් මිලියන 250ක මාධ්‍ය ප්‍රවර්ධන වටිනාකමක් ලැබෙන බවට ඉදිරිපත් කළ වාර්තා මත පදනම්ව, පෞද්ගලික ව්‍යාපාරික ජාලයක ජාත්‍යන්තර සත්කාරකත්වය වෙනුවෙන් රජයේ මුදල් කෝටි 10කට අධික ප්‍රමාණයක් එකවර යෙදවීම, රාජ්‍ය අරමුදල් සූක්ෂ්ම ලෙස පුද්ගලික න්‍යායපත්‍රයන් වෙනුවෙන් හරවා ගැනීමේ පැහැදිලි උත්සාහයක් බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.





