ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) නඩුවේ විත්තිවාචක ඉදිරිපත් කිරීම ආරම්භ වන මොහොතේදීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දැඩි ප්රශ්නාර්ථයකට ලක්ව තිබේ. වසර ගණනාවක් තිස්සේ නඩුව හදාරා ලිපිගොනු සහ දින වකවානු ගොඩගසාගෙන කරුණු දැක්වූ පැමිණිල්ලට සහ රහස් පොලිස් ප්‍රධාන විමර්ශක එරන්ද ලක්සිරි ඇතුළු පිරිසට ලැබුණු වරප්‍රසාදය, විත්තිකූඩුවේ සිටින විත්තිකරුවන් දොළොස් දෙනාට අහිමි කර ඇත. ඔවුන්ට තම විත්තිවාචකය වෙනුවෙන් කොළ කැබැල්ලක් හෝ දින වකවානු සටහනක්වත් ළඟ තබාගැනීම තහනම් කර තිබීම හරහා සාධාරණ නඩු විභාගයක මූලික අයිතිය උල්ලංඝනය වන බව පැහැදිලිය.
මෙම සමස්ත නඩුවේම ප්‍රධානතම චෝදනාව වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ‘බෙහෙත් නොවන ද්‍රාවණයක්’ සැපයූ බව ඔප්පු කිරීමයි. ඒ සඳහා ඉදිරිපත් කෙරෙන එකම ප්‍රධාන සාක්ෂිය ජර්මානු රසායනාගාර වාර්තාවක් වන අතර, රජයේ මුදල් රුපියල් මිලියන 6ක් පමණ වැයකරමින් රහස් පොලිස් නිලධාරීන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අර්ජුන පද්මපෙරුම යන අය මාළු දමන රිජිෆෝම් පෙට්ටිවල මෙම සාම්පල ජර්මනියට රැගෙන ගියහ.
එහෙත් අධිකරණ නියෝග පරිදි එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි රසායනාගාරයකින් ලබාගත් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැත. රසායනාගාර පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයා සාක්ෂියට නොකැඳවා, පරීක්ෂණය නොකළ ඖෂධවේදියෙකුගේ දිවුරුම් ප්‍රකාශයක් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සහතික කළ විදේශ ගමන් බලපත්‍ර පිටපතක් පමණක් ඉදිරිපත් කර තිබේ. විනිසුරු විරාජ් වීරසූරිය පෙන්වා දුන් පරිදි, අදාළ වාර්තාව සකස් කළ පුද්ගලයා සාක්ෂි කූඩුවට නොකැඳවීමෙන් විත්තියට හරස් ප්‍රශ්න ඇසීමේ ස්වාභාවික යුක්ති මූලධර්මය පවා අහිමි කර ඇත.
වඩාත් සැකකටයුතු සිදුවීම වන්නේ පළමු විත්තිකාර ව්‍යාපාරිකයා තම විත්තිවාචකය තුළදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගමව අහස උසට වර්ණනා කිරීමයි. ඇය පද්ධතිය පිරිසිදු කරන උතුම් නිලධාරිනියකැයි කියමින් පළමු විත්තිකරු සුදුහුණු ගාන්නේ, ඇය සහ තමන් අතර පවතින අසල්වැසි හා ඥාති සබඳතාවයේ තරම දන්නා නිසාද යන ප්රශ්නය මතුවේ. ඇගේ පියාගේ අවමංගල්‍යයට පවා ගිය පළමු විත්තිකරු බේරාගැනීමේ යටි අරමුණින්, නඩුවේ ප්‍රධානතම ජර්මානු සාක්ෂිය හිතාමතාම මඟහැරියේද යන්න පිළිබඳව බරපතළ සැකයක් පවතී.
අනෙක් අතට, කූට ලේඛන හඳුනාගැනීමට රහස් පොලිසියට පවා දීර්ඝ කාලයක් ගතවූ පසුබිමක, බැලූ බැල්මට එය හඳුනාගත නොහැකි වූ සාමාන්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මත සියලු වැරදි පටවා තිබේ. මෙම කූට ලේඛන පිළිබඳ මුලින්ම සැක සිතී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල පැමිණිල්ල දැමූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව අටවන විත්තිකරු බවට පත්කරමින්, පළමු විත්තිකරු ලවා ඔහුට පමණක් ද්වේෂ සහගතව චෝදනා එල්ල කරවීම පිටුපස ඇත්තේ සැඟවුණු නාටකයකි.
අදාළ තීන්දු තීරණ ගත් රැස්වීම්වල තමන් නොසිටි බව කෙහෙළිය රඹුක්වැල්ල විදේශ ගමන් බලපත්‍රයෙන්ම ඔප්පු කරද්දීත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු තම තාන්න මාන්න රැකගැනීම වෙනුවෙන් නඩුව මෙහෙයවන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබේ. පළමු විත්තිකරුට ගැලවී යාමට පාර කපාදෙමින්, මුල් පැමිණිලිකරුවා විත්තිකූඩුවට දක්කා, සියලු කුණු නිලධාරීන් පිට පටවන මෙම ක්‍රියාකලාපයේ සැබෑ අරමුණ කුමක්දැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටියි.





