(පොලොන්නරුව සහ නැගෙනහිර පෙරමුණේ – ‘කයිවාරු.net’ විශේෂ නිරීක්ෂණයක්!)
ශ්‍රී ලංකාවේ මිනිසා සහ අලි ඇතුන් අතර පවතින ගැටුම හුදු පාරිසරික අර්බුදයකින් ඔබ්බට ගොස් දැවැන්ත ජෛව විනාශයක් දක්වා වර්ධනය වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම නිල සංඛ්‍යාලේඛන ඇසුරෙන් සිදුකළ විමර්ශනයකදී ‘කයිවාරු.net’ වෙත නිරීක්ෂණය වේ.
එම දත්ත වාර්තාවලට අනුව, ඉකුත් 2010 වසරේ සිට 2026 වසරේ සැප්තැම්බර් 19 වැනිදා දක්වා ගෙවීගිය කාලසීමාව තුළ පමණක් මෙරට වනාන්තර තුළ සහ ජනාවාස ආශ්‍රිතව මියගොස් ඇති සමස්ත වනඅලි සංඛ්‍යාව 5,394ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය වසරකට සාමාන්‍යයෙන් අලි ඇතුන් 300කට අධික පිරිසක් අහිමි වීමක් වන අතර, දිවයිනේ අලි ගහනයට එල්ල වී ඇති අතිශය බරපතළ තර්ජනයක් ලෙස පරිසරවේදීහු පෙන්වා දෙති.
ප්‍රාදේශීය වශයෙන් මෙම ඛේදවාචකය විමසා බැලීමේදී, වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පොලොන්නරුව වනජීවී කලාපයෙනි. එම සංඛ්‍යාව 1,181ක් වන අතර, අලි ඇතුන් 1,022ක් අහිමි වූ නැගෙනහිර වනජීවී කලාපය දෙවැනි ස්ථානයටත්, මරණ 799ක් වාර්තා වූ අනුරාධපුර වනජීවී කලාපය තෙවැනි ස්ථානයටත් පත්ව ඇත. මේ අනුව උතුරු මැද සහ නැගෙනහිර වියළි කලාපය මෙරට වනඅලි ජීවිතවලට වඩාත්ම අනාරක්ෂිත කලාප බවට පත්ව ඇති අයුරු පැහැදිලි වේ.
අදාළ කාලය තුළ වසරක් පාසා වාර්තා වූ මරණ අනුපාතය සැලකීමේදී, ඉතිහාසයේ වැඩිම අලි මරණ ප්‍රමාණයක් සටහන්ව ඇත්තේ 2023 සහ 2025 යන වසරවලදීය. ඒ අනුව 2023 වසරේදී වනඅලි 488ක්ද, 2025 වසරේදී වනඅලි 455ක්ද දිවයින පුරා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අර්බුදය කිසිදු පාලනයකින් තොරව තවදුරටත් ඉදිරියට ඇදෙන බව තහවුරු කරමින්, 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 19 වැනිදා දක්වා ගෙවීගිය මාස නවයකට මඳක් වැඩි කාලය තුළදී පමණක් තවත් අලි මරණ 286ක් වාර්තා වී හමාරය.
විදුලි වැටවල්, අලි මංකඩ අවහිරවීම්, හක්කපටස් සහ වෙඩි තැබීම් හමුවේ වනජීවී ප්‍රතිපත්ති කඩදාසිවලට පමණක් සීමා වෙද්දී, මෙරට අභිමානවත් වනඅලි සම්පත වේගයෙන් වඳවීමේ මාවතට තල්ලු වෙමින් පවතින බව ‘කයිවාරු.net’ නිරීක්ෂණය කරයි.





