අධිකරණ නියෝගත් අහෝසි කරමින් පුද්ගලික ඇමතුම් දත්ත පොලීසිය අතට? සංවිධානාත්මක අපරාධ කෙටුම්පතෙන් එල්ල වන බරපතළ අනතුර !!!
📍nationfront.news | විශේෂ විග්‍රහය
සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ මුවාවෙන් පුරවැසියන්ගේ පුද්ගලිකත්වයේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින්, අධිකරණ අවසරයකින් තොරව ඕනෑම අයෙකුගේ දුරකථන සහ පිහිටුම් දත්ත ලබාගැනීමට පොලීසියට අසීමිත බලතල පවරාදීමේ සූදානමක් නවතම පනත් කෙටුම්පතක් හරහා මතුව තිබේ. පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ගැසට් පත්‍රයේ පළ කෙරුණු “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” (Prevention of Organized Crime Bill) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් විසින් පිටු 31කින් යුත් නිල සන්නිවේදනයක් මඟින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හමුවේ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරමිනි.
අධිකරණ අධීක්ෂණය අහෝසි කිරීම සහ 44(4) වගන්තිය
ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ආධිපත්‍යය පවතින රටක පුරවැසියෙකුගේ පුද්ගලික සන්නිවේදන දත්ත පරික්ෂා කිරීමට නම් ස්වාධීන අධිකරණයකින් වරෙන්තුවක් හෝ නියෝගයක් ලබාගැනීම අනිවාර්ය මූලධර්මයකි. එහෙත්, මෙම කෙටුම්පතේ 44(4) වගන්තිය මඟින් යෝජනා කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට (DIG) සෘජුවම විදුලි සංදේශ සහ දත්ත සේවා සපයන සමාගම් වෙත නියෝග නිකුත් කරමින් ඕනෑම ග්‍රාහකයෙකුගේ දත්ත ලබාගැනීමට ඉඩ සැලසීමයි.
මෙහිදී දුරකථන සමාගම්වලින් පොලීසියට ලබාගත හැකි තොරතුරු අතරට:
ග්‍රාහකයාගේ සම්පූර්ණ පුද්ගලික විස්තර
ලබාගත් සහ ලැබුණු සියලුම ඇමතුම් වාර්තා (Call Logs)
අදාළ පුද්ගලයා රැඳී සිටි සහ ගමන් කළ ස්ථාන පිළිබඳ තොරතුරු (Location Data) ඇතුළත් වේ.
ඇමතුම්වලට සවන් නොදුන්නත් ජීවිතයම හෙළිදරව් වීම
මෙහිදී ඇතැමුන් තර්ක කරන්නේ ඇමතුම්වල අභ්‍යන්තර කතාබහට සවන් දීමක් සිදු නොවන බැවින් මෙයින් හානියක් නොවන බවයි. එහෙත් එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පෙන්වා දෙන පරිදි, ඇමතුම් වාර්තා සහ පිහිටුම් දත්ත (Metadata) විශ්ලේෂණය කිරීමෙන් පුද්ගලයෙකුගේ දෛනික ගමන් බිමන්, ඇසුරු කරන පුද්ගලයන්, පවුලේ සබඳතා මෙන්ම වෘත්තීය රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම නිරාවරණය වේ.
මෙය විශේෂයෙන්ම බලපාන්නේ විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ට, නීතිඥවරුන්ට සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ටය:
මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර අනතුරේ වැටීම: මාධ්‍යවේදීන් තොරතුරු ලබාගන්නා රහස්‍ය මූලාශ්‍ර ඉතා පහසුවෙන් අනාවරණය කරගැනීමට පොලීසියට හැකියාව ලැබේ.
නීතිඥ-සේවාදායක රහස්‍යභාවය බිඳවැටීම: අපරාධ චෝදනා එල්ල වූවන්, වින්දිතයන් හෝ සාක්ෂිකරුවන් තම නීතිඥයන් සමඟ පවත්වන සන්නිවේදනයන් රහසිගතව නිරීක්ෂණය වීමේ අවදානමක් පවතී.
ක්‍රියාකාරීන් ඉලක්ක කිරීම: රජය විවේචනය කරන හෝ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ගේ සබඳතා ජාල නිරීක්ෂණය කර ඔවුන් පීඩනයට පත් කිරීමට ඉඩකඩ විවර වේ.
බලය අයුතු ලෙස භාවිතයට රුපියල් ලක්ෂයක සුළු දඩයක්!
මෙම කෙටුම්පත තුළ අන්තර්ගත වඩාත්ම සැකකටයුතු විධිවිධානය වන්නේ 44(5) වගන්තියයි. යම් නිලධාරියෙකු මෙම අතිශය සංවේදී බලතල අයුතු ලෙස හෝ ද්වේෂසහගත ලෙස භාවිත කළහොත් ඒ සඳහා නියම කෙරෙන උපරිම දඩය රුපියල් ලක්ෂ 1ක් (රු. 100,000) පමණි. පුරවැසියෙකුගේ මූලික මානව අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමකට එරෙහිව මෙවැනි නොසැලකිය යුතු දඩයක් පැනවීම, බලය අයුතු ලෙස භාවිත කිරීමට එරෙහිව කිසිදු ප්‍රායෝගික බියක් හෝ නීතිමය ආරක්ෂණයක් නිර්මාණය නොකරයි.
විදෙස්ගත ශ්‍රමිකයන් සහ සාමාන්‍ය පවුල්ද දැලට හසුවීමේ අවදානම
මෙම නීතිය සංවිධානාත්මක අපරාධකරුවන්ට පමණක් සීමා වන්නක් නොවේ. පොලීසිය විසින් සැකකරනු ලබන ඕනෑම පුද්ගලයෙකුගේ දුරකථනයට ලැබෙන ඇමතුම් පරීක්ෂා කිරීමේදී, ඔවුන් සමඟ සන්නිවේදනය කරන සාමාන්‍ය ඥාතීන්, මිතුරන් මෙන්ම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පෞද්ගලික තොරතුරුද එකී නිරීක්ෂණ දැලට හසුවීමට නියමිතය. විනිවිදභාවයකින් තොරව සහ අධිකරණ වරෙන්තුවකින් තොරව මෙලෙස දත්ත එක්රැස් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සෘජුව උල්ලංඝනය කිරීමකි.
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සමඟින් කරලියට පැමිණ ඇති මෙම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස බලකරමින් පසුගියදා පොල්දුව හන්දියේදී මහජන අරගල ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන විරෝධතාවල නිරත විය. සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම රජයක වගකීමක් වුවද, අපරාධ වැළැක්වීමේ මුවාවෙන් පුරවැසියන් රහසිගත රාජ්‍ය ඔත්තු බැලීමකට යටත් කිරීම කිසිසේත්ම පිළිගත නොහැක. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිමය අභියෝග එල්ල කිරීම මෙන්ම, පනත විවාදයට ගැනීමට පෙර මෙම මර්දනකාරී වගන්ති ඉවත් කරවා ගැනීමට පුරවැසි බලපෑමක් එල්ල කිරීම අත්‍යවශ්‍ය මොහොතක් එළඹ තිබේ.





