වයස අවුරුදු 18 ඉක්මවූ මෙරට පුරවැසියන්ගේ බැංකු හා මූල්‍ය ගනුදෙනු ඇතුළු ප්‍රධාන ආර්ථික කාර්යයන් 8ක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ‘TIN’ (Taxpayer Identification Number) අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට අනිවාර්ය කර ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති නව නියෝගයට අනුව, ඕනෑම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක නව ගිණුමක් විවෘත කිරීම, ක්‍රෙඩිට් කාඩ්පතක් (Credit Card) ලබාගැනීම, මෝටර් රථයක් අලුතින් ලියාපදිංචි කිරීම මෙන්ම වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගැනීම සඳහාද අද සිට TIN අංකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය. ඊට අමතරව පළාත් පාලන ආයතන මඟින් ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම, ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචිය, නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ සමාගමක කොටස් පැවරීම යන කාර්යයන් සඳහාද මෙම අංකය නොමැතිව ඉදිරි පියවර ගත නොහැක.
මේ අතර, TIN අංකයක් ලබාගත් සැණින් සෑම අයෙකුටම ආදායම් බදු ගෙවීමට සිදුවේදැයි සමාජය තුළ පවතින බිය සහ සැකය පිළිබඳවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ හුදෙක් TIN අංකයක් ලබාගත් පමණින් කිසිවෙකුත් ස්වයංක්‍රීයව බදු ගෙවීමට යටත් නොවන බවත්, බදු අයකිරීම් සිදුවන්නේ නීත්‍යානුකූලව නියමිත ආදායම් සීමාවන් ඉක්මවන පුද්ගලයින්ගෙන් පමණක් බවත්ය.
මේ වන විටත් මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන්ගෙන් මිලියන 14කට ආසන්න පිරිසක් TIN අංකය ලබාගෙන ඇති අතර, මෙතෙක් ලියාපදිංචි වී නොමැති අයට ආසන්නතම දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයකට ගොස් හෝ එම දෙපාර්තමේන්තුවේ නිල ඊ-සේවා (e-Services) වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) නොමිලේම ලියාපදිංචි වීමේ පහසුකම සලසා ඇත.





