චූදිත නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් තිදෙනාගෙන් සුමනසූරිය පමණක් බිල්ලට දී ලලිත් විජේරත්න සහ එම්.පී. රණතුංග බේරාගත් හැටි ‘kaiwaru.net’ හෙළි කරයි!
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) ඉහළම පරිපාලන ධුර දරන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් තිදෙනෙකු විසින් ආයතනයේ තරුණ නිලධාරිනියන්ට එරෙහිව පවත්වාගෙන ගිය බව කියන බරපතළ ලිංගික අතවර හා බලය අවභාවිත කිරීමේ ජාලයක් පිළිබඳව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ විශේෂ ලිඛිත පැමිණිල්ලක තොරතුරු ‘kaiwaru.net’ වෙත අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, ළමා හා කාන්තා කාර්යාංශය විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර අධිකාරිය වෙත දැනුම් දී තිබියදීත්, නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනය විසින් විමර්ශන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ එම නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙකුට එරෙහිව පමණක් වීම බරපතළ ආන්දෝලනයකට තුඩු දී ඇත.
සුමනසූරිය සේවය හැරයද්දී නිදැල්ලේ සිටින ‘සැලසුම්’ අංශයේ ලොක්කෝ දෙදෙනා කවුද?
මෙම සිදුවීමට අදාළව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මානව සම්පත්) ලෙස කටයුතු කළ සොලමන් සුමනසූරිය මහතා විමර්ශනයක් සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව මේ වන විට සිය සේවය හැරගොස් තිබේ. අධිකාරියේ තරුණ නිලධාරිනියකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ වී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සැලසුම් නිලධාරිනියක විසින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට සහ අධ්යක්ෂ ජනරාල්වරයාටද පිටපත් සහිත නිල පැමිණිලි ලිපිය මඟින් මෙම අතවර ජාලයට සෘජුවම සම්බන්ධ ඉහළ නිලධාරීන් තිදෙනාගේම නම් පැහැදිලිව හෙළිදරව් කර තිබේ.
එම්.පී. රණතුංග මහතා (Mr. M.P. Ranathunga) – නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්)
ලලිත් විජේරත්න මහතා (Mr. Lalith Wijerathne) – නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්)
සොලමන් සුමනසූරිය මහතා (Mr. Solomon Sumanasuriya) – නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මානව සම්පත් - HRM)
ළමා හා කාන්තා කාර්යාංශය විසින් සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන්ද අධිකාරිය දැනුවත් කර තිබියදී, සොලමන් සුමනසූරිය සම්බන්ධයෙන් පමණක් පියවර ගෙන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) ලලිත් විජේරත්න සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග යන දෙදෙනා කිසිදු ක්රියාමාර්ගයකින් තොරව නිදහස් කර තබා ඇති බව වාර්තා වේ. අධිකාරියේ සේවකයින් පෙන්වා දෙන්නේ ආයතනයේ ඉහළම නිලධාරියෙකු සමඟ පවතින සමීප සම්බන්ධතාව මත මොවුන් දෙදෙනාට මෙලෙස ආරක්ෂාව සැලසී ඇති බවයි.
කීකරු වන කාන්තාවන්ට උසස්වීම් — ප්‍රතික්ෂේප කරන අයට දඬුවම්!
තමන් මුහුණ දුන් දරුණු ලිංගික හිංසනයන් හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට පවා බලකෙරුණු බව සඳහන් කරමින් එම හිටපු සැලසුම් නිලධාරිනිය සිය පැමිණිල්ලේ දක්වා ඇති කරුණු අතිශය කම්පනකාරීය. ලිංගික අල්ලස් ඉල්ලා සිටීම, අශෝභන ලිංගික ප්‍රකාශ සිදුකිරීම සහ සේවා ස්ථානය තුළ පීඩාකාරී වටපිටාවක් නිර්මාණය කිරීම හරහා මෙම නිලධාරීන් සිය බලය අවභාවිත කර ඇති බව ඇය චෝදනා කරයි.
“‘Clean Sri Lanka’ කතා අස්සේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ පුටුවල ලිංගික අතවර ජාලය: චූදිත නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් තිදෙනාගෙන් සුමනසූරිය පමණක් බිල්ලට දී ලලිත් විජේරත්න සහ එම්.පී. රණතුංග බේරාගත් හැටි මෙන්න!”
විශේෂයෙන්ම, මෙම නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් යටතේ පවතින අංශවල සියලුම නියෝජ්‍ය අධ්යක්ෂවරියන් (DDs) සහ සහකාර අධ්යක්ෂවරියන් (ADs) ලෙස කටයුතු කරන්නේ කාන්තාවන් වන අතර, ඔවුන්ගේ අවනත වීම මත උසස්වීම් ලබා දීම සහ ස්ථාන මාරුවීම්වලින් ආරක්ෂා කිරීම වැනි විශේෂ වරප්‍රසාද හිමිවන ආකාරයක් පෙන්නුම් කරන බව එම ලිපියේ සඳහන් වේ. අනෙක් අතට, ඔවුන්ගේ බලපෑම්වලට අවනත වීම ප්‍රතික්ෂේප කරන නිලධාරිනියන්ට දඬුවම් පැමිණවීම හරහා ආයතනය තුළ බියගැන්වීමේ සහ බලහත්කාරී පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, මෙම දරාගත නොහැකි පීඩනය හේතුවෙන් බොහෝ කාන්තා නිලධාරිනියන්ට ආයතනය හැර යාමටත් ඇතැමුන්ට රට පවා හැර යාමටත් සිදුව ඇති බවත් ඇය අනාවරණය කර තිබේ.
‘Clean Sri Lanka’ සංකල්පයට මුවා වී අපරාධකරුවන් රකින්නේ කවුද?
විනිවිදභාවය, අවංකභාවය සහ සියලු පුරවැසියන්ට ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම අරමුණු කරගත් ‘Clean Sri Lanka’ සංකල්පය යථාර්ථයක් කිරීමට නම් මෙවැනි බරපතළ බලය අවභාවිත කිරීම්වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පැමිණිලිකාරිය අවධාරණය කර ඇත.
රාජ්‍ය ආයතනයක තරුණ නිලධාරිනියන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ ආත්ම ගරුත්වය බිලිගනිමින් ඉහළ පුටුවල සිටින නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව ලිඛිත පැමිණිලි සහ විමර්ශන වාර්තා පවතිද්දී, ඉන් එක් අයෙකු පමණක් ඉවත් කර සැලසුම් අංශයේ ප්‍රබලයන් දෙදෙනා ආරක්ෂා කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ පරිපාලනය කටයුතු කරන්නේ කාගේ වුවමනාවටද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයකි.




