බාල බෙහෙත් නඩුවේ පැමිණිල්ලට ‘පොල් ගහලද, හූනියම් කරලද?නීතිපති දෙපාර්තමේන්තුව පෙළන අබිරහස් අනතුරු වැල ‘kaiwaru.net’ හෙළි කරයි!
ආන්දෝලනාත්මක ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්’ (Human Immunoglobulin) හෙවත් බාල ප්‍රතිදේහ ඖෂධ නඩුවේ සාක්ෂි විභාගය අවසන් වී ලිඛිත දේශන ගොනු කිරීමේ අදියරට පැමිණ තිබියදී, පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ විමර්ශකයන්ට එක පිට එක එල්ල වන අනපේක්ෂිත පවුල් ඛේදවාචක හා හදිසි අනතුරු මාලාව පිළිබඳව අලුත්කඩේ අධිකරණ ක්ෂේත්රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බව ‘kaiwaru.net’ වෙත වාර්තා වේ.
නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා නොවැම්බර් 25 වැනිදාට දින නියම වී තිබුණද, ඉකුත් සිකුරාදා නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා තවත් දින දෙකක කල් ඉල්ලා සිටීමත් සමඟ මේ පිටුපස ඇති අබිරහස් සිදුවීම් පෙළ කරළියට පැමිණ තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව සහ විමර්ශකයන් පසුපස හඹා එන අනතුරු වැල
පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගමගේ පියා මෑතකදී මිය ගිය අතර පසුගියදා මව හදිසියේම ලිස්සා වැටී පාදයක් බිඳී යාමත්, ඇයට පසුව නඩුවට පෙනී සිටින රජයේ නීතිඥ අසේල විජේසිංහගේ මව හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමත්, පැමිණිල්ලේ කණිෂ්ඨ නීතිඥවරියක වන නටාෂා ඩී අල්විස් ගේ මව හදිසි හෘදයාබාධයකින් මියයාමත් යන සිදුවීම් තුනම එකම අවස්ථාවක වාර්තා වී තිබේ.
මෙම අනපේක්ෂිත සිදුවීම් මාලාව මීට මාස කිහිපයකට පෙර සිටම නඩුවට සම්බන්ධ පාර්ශ්ව වෙත එල්ල වෙමින් පැවති බව අධිකරණ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මීට මාස කිහිපයකට ඉහතදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සමඟ නිල රථයෙන් අධිකරණයට පැමිණෙමින් සිටියදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්විය.
එමෙන්ම, මෙම නඩුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) විමර්ශන නිලධාරී එරන්ද ලක්සිරි සාක්ෂි ලබාදීමට නියමිතව තිබූ දිනට පෙර දින ඔහුගේ බාල සොහොයුරා දරුණු රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කෙරුණු අතර, ශරීරයේ එක් පැත්තක් අප්‍රාණික වූ ඔහු තවමත් රෝහල්ගතව භෞතචිකිත්සක ප්‍රතිකාර (Physiotherapy) ලබමින් සිටින බව වාර්තා වේ.
මළගෙදරදී හෙළිවූ ‘නෑදෑකම’ සහ සාක්ෂි කූඩුවෙන් මඟහැරුණු සෞඛ්‍ය ලොක්කා!
මීට මාස තුනකට පමණ පෙර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගමගේ පියා ද දැඩි ලෙස රෝගාතුරව සිට මිය ගිය අතර, එම අවස්ථාවේ සිදුවූ සිදුවීම් දෙකක් හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය සහ ලැදියාවන් අතර ගැටුම (Conflict of Interest) පිළිබඳව බරපතළ චෝදනා එල්ල වී තිබේ.
පළමුවැන්න නම්, ලක්මිණි ගිරිහාගමගේ පියා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සමයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇයට සියලු පහසුකම් සලසමින් සමීපව උපකාර කළ බවත්, ඊට කෘතගුණ සැලකීමක් ලෙස මෙම ඖෂධ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු විය යුතුව තිබූ වෛද්‍ය අසේල ගුණවර්ධනව සාක්ෂියට පවා නොකැඳවා මඟහැරීමට පැමිණිල්ල කටයුතු කළ බවටත් නීති ක්ෂේත්රය තුළ පැතිර යන තොරතුරුය.
දෙවැන්න ඊටත් වඩා බරපතළය. ලක්මිණි ගිරිහාගමගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට මෙම බාල ඖෂධ නඩුවේ පළමු සහ ප්‍රධාන සැකකරු වන සුදත් ජනක ප්‍රනාන්දු සිය පවුලේ සාමාජිකයන් සමඟ සහභාගී වී ඇති අතර, එහිදී ඔහු ලක්මිණි ගිරිහාගමගේ මව වැළඳගෙන හඬා වැළපී ඇති බව අධිකරණ ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුව සොයා බැලීමේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සහ නඩුවේ ප්‍රධාන සැකකරු අතර ඥාති සබඳතාවක් පවතින බවට තොරතුරු හෙළිවී ඇති අතර, එවැනි බරපතළ ලැදියාවන් අතර ගැටුමක් පවතිද්දීත් නීතිපති පාරින්ද රණසිංහ ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම දැඩි විවේචනයට ලක්ව තිබේ.
එකම අධිකරණයක ‘හැඳි දෙකේ’ සැලකිල්ල
මේ සියල්ල අතරතුර ත්‍රිපුද්ගල මහාධිකරණය තුළ පැමිණිලි පාර්ශ්වයට සහ විත්ති පාර්ශ්වයට සැලකූ ආකාරයේ පවතින බරපතළ විෂමතාව පිළිබඳවද නීතිඥවරුන් අතර තියුණු සංවාදයක් මතුව ඇත.පැමිණිල්ල මෙහෙයවන ලක්මිණි ගිරිහාගමගේ පියා මියගිය අවස්ථාවේදී අධිකරණය විසින් සතියක නිවාඩුවක් ලබා දුන් අතර, මෙවර කණිෂ්ඨ නීතිඥවරියගේ මව මියයාම හේතුවෙන් නොවැම්බර් 25 වැනිදාට නියමිතව තිබූ ලිඛිත දේශන ගොනු කිරීම 27 වැනිදා දක්වා කල් දැමීමට අධිකරණය වහාම අවසර ලබා දුන්නේය.
එහෙත් විත්ති පාර්ශ්වයේ චූදිතයන්ට සහ නීතිඥවරුන්ට අධිකරණය තුළ අත්වූයේ ඊට හාත්පසින්ම වෙනස් ඉරණමකි.
6 වැනි චූදිත එස්.ජේ. චන්ද්‍රගුප්ත: හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තගේ මව මියගිය අවස්ථාවේදී නඩුව එක් දිනකට කල් තැබීම සම්බන්ධයෙන් දැඩි වාද විවාද ඇති වූ අතර, ඔහු නොමැතිව නඩුව ඉදිරියට ගෙන යා හැකි නීතිමය ක්‍රමවේදයක් සොයා ගැනීම සඳහා සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් නඩුව විනාඩි 30කට කල් තබන ලදී.
11 වැනි චූදිත වෛද්‍ය ඒ.ටී. සුදර්ශන: ඔහුගේ එකම දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා පැය දෙකක අවසරයක් ලබා දෙන ලෙසත්, සේවාදායකයා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බැවින් ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවත් නීතිඥ අමිත අධිකරණයට දැනුම් දුන්නද විනිසුරු මඩුල්ල ඊට අවසර ලබා දුන්නේ නැත.
5 වැනි චූදිත සුජිත් වසන්ත කුමාර: ඔහුගේ බිරිඳ ඔවුන්ගේ කුළුඳුල් දරු උපත සඳහා රෝහල්ගත කළ අවස්ථාවේදී බිරිඳ අසලට යාමට ඔහුට අධිකරණයෙන් නිදහස ලැබුණේ නැත.
විත්තියේ නීතිඥ රාහුල් ජයතිලක:9 වැනි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක දරුණු පෙනහළු ආසාදනයකින් රෝහල්ගත වී වෛද්‍ය වාර්තා පවා අධිකරණයට ඉදිරිපත් කර තිබියදී, නඩුව එක් දිනයකට හෝ කල් තැබීමට අධිකරණය අවසර දුන්නේ නැත.
මේ ආකාරයට විත්තියට එක් හැන්දකිනුත් පැමිණිල්ලට තවත් හැන්දකිනුත් බෙදමින්, සත්‍ය සාක්ෂි යටපත් කර අසත්‍ය ආඛ්‍යාන ගොඩනගන්නට උත්සාහ කරන පසුබිමක නීතිපති දෙපාර්තමේන්තුව වෙත එල්ල වන මෙම අනපේක්ෂිත විපත් පෙළ දෙස බලා සිටින බොහෝ දෙනෙකු පවසන්නේ මෙය හූනියමක් හෝ පොල් ගැසීමක ප්‍රතිඵලයක් නොව, අසාධාරණයට ලක්වූ මිනිසුන්ගේ සෝසුසුම් සහ සොබාදහමේ නීතිය ඉදිරියේ කිසිවෙකුටත් ගැලවීමක් නොමැති බවට කදිම නිදසුනක් බවයි.






