කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

“ගේ හදන්න ගත් එක්කෝටි 16 ලක්ෂයක ණය ඇමති ලාල් කාන්ත පියවා අවසන් : දේපළ විකුණා නිවස හැදු බවට කළ ප්‍රකාශ බොරු කරන 2025 සහ 2026 වත්කම් ප්‍රකාශවල මුල්‍ය පරස්පරතා මෙන්න !”

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති පිංකමකට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූ ඡායාරූප ප්‍රසිද්ධ වීමත් සමඟ ඇති වූ මහජන කතාබහට අදාළව, අමාත්‍යවරයා විසින් 2025 සහ 2026 වර්ෂ සඳහා ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේදී බරපතළ පරස්පරතා රැසක් අනාවරණය වන බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු වැටුප්, දීමනා සහ තීරු බදු රහිත වාහන බලපත්‍ර පවා පක්ෂ අරමුදලට බැර කරන බවට ප්‍රකාශ කර තිබියදී, ලාල් කාන්ත පදිංචිව සිටින නිවසේ විශාලත්වය සහ සුඛෝපභෝගී ස්වභාවය පිළිබඳව පසුගිය අප්‍රේල් මාසයේදී සමාජය තුළ දැඩි විමසීමක් ඇති විය.

දේපළ විකුණා නිවස හැදූ බවට ඇමතිවරුන් දෙදෙනා දුන් පිළිතුරු

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

එම මහජන කතාබහට ප්‍රතිචාර දක්වමින් පසුගිය අප්‍රේල් මාසයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, ලාල් කාන්ත සිය පවුලේ උරුමයෙන් ලැබුණු අනුරාධපුරයේ දේපළ සහ ඔහුගේ බිරිඳට මහනුවර පිහිටි දේපළ විකුණා එම නිවස ඉදිකර ඇති බවයි.

එම වකවානුවේදීම යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය ලාල් කාන්ත සඳහන් කළේ පර්චස් 6ක් සහ 7ක් වශයෙන් මිලදී ගත් ඉඩම් කැබලි දෙකක නිවස ඉදිකර 2024 අගභාගයේදී එහි පදිංචියට ගිය බවයි. ඒ සඳහා මුදල් සපයා ගත්තේ කාලයක් තිස්සේ භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවති මාතලේ හන්දිය ප්‍රදේශයේ නුවර පාරට ආසන්න පවුලේ දේපළක් විකිණීමෙන් බවද ඔහු පැවසීය. වසර 40ක දේශපාලන ජීවිතය තුළ තමන් රැස්කරගත් වටිනාම වත්කම සබඳතා ජාලය බවත්, අවශ්‍ය නම් කෙටි කාලයකින් විශ්වාසවන්ත හිතවතුන් 100 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වුවද එකතු කළ හැකි බවත් ඔහු එහිදී අවධාරණය කළේය. නිවස ඉදිකිරීමට රජයේ මුදල්, බදු මුදල් හෝ පක්ෂ අරමුදල් භාවිත නොකළ බව පැවසූ අමාත්‍යවරයා, පූර්ණකාලීන දේශපාලන කාලයේදී නිවසේ වියදම් බිරිඳගේ ආදායමෙන් දැරූ බවත්, නිවසේ ඇති පියානෝව දියණියගේ කුඩා කාලයේ සංගීත පාඩම් සඳහා ගත් වසර 15ක් පමණ පැරණි එකක් බවත් සඳහන් කළේය.

2025 වත්කම් ප්‍රකාශය හෙළි කරන කෝටියකට අධික නිවාස ණය

කෙසේ වෙතත්, 2025 ජූනි 15 වැනිදා වත්කම් ප්‍රකාශයක් ලබා දී තිබියදී නැවතත් 2025 දෙසැම්බර් 26 වැනිදා නීතිඥ සුනිල් වටගල ඉදිරියේ දිවුරුම් දී අත්සන් කරන ලද ලාල් කාන්තගේ 2025 වත්කම් හා බැරකම් ප්‍රකාශය මගින් වෙනස්ම මූල්‍ය චිත්‍රයක් මතු වේ.

එම ප්‍රකාශයේ මූල්‍ය බැඳීම් යටතේ දැක්වෙන්නේ 2024 අප්‍රේල් 10 සහ 2024 මැයි 25 යන දිනවලදී රුපියල් ලක්ෂ 20 බැගින් වූ පොරොන්දු නෝට්ටු මත රුපියල් ලක්ෂ 40ක ණය මුදලක් ලබාගෙන ඇති බවයි. ඊට අමතරව, 2025 මැයි 26 වැනිදා නිවස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂ අනූ දහස් හත්සිය අනූ හතක (රු. 11,590,797) ණය මුදලක් ලබාගෙන ඇති බවත්, එය 2026 පෙබරවාරි 26 වැනිදාට පෙර පියවිය යුතු බවත් එහි සඳහන් වේ.

2025 ප්‍රකාශයට අනුව ලාල් කාන්තගේ බැංකු ගිණුම් දෙකක රුපියල් 273,193.23ක් සහ රුපියල් 196,880ක් තිබී ඇති අතර, පවුලේ සෙසු සාමාජිකයන්ගේ (ආවරණය වන තැනැත්තන්ගේ) ගිණුම් පහක රුපියල් මිලියන 3.31කට ආසන්න මුදලක් පැවතිණි. වාර්ෂික ආදායම් ලෙස ඔහුට විශ්‍රාම වැටුප රුපියල් 771,400ක්, වැටුප රුපියල් 738,918.16ක් සහ දේපළ බදු ආදායම රුපියල් 400,000ක් ලැබී ඇති අතර, බිරිඳට විශ්‍රාම වැටුප, රැකියා වැටුප සහ ස්ථාවර තැන්පතු ආදායම ලෙස රුපියල් මිලියන 4.98කට ආසන්න ආදායමක් ලැබී තිබිණි. මීට අමතරව 2024 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා අවස්ථා 8කදී පවුලේ සමීපතමයන් නොවන පාර්ශ්වයන්ගෙන් රුපියල් 50,000 ඉක්මවූ ත්‍යාග හෝ ප්‍රතිපූරණ ලෙස රුපියල් ලක්ෂ 9ක මුදලක් ලැබුණු බවද එහි සටහන්ව ඇත.

2026 වත්කම් ප්‍රකාශය සහ ණය ගෙවූ මුදල් පිළිබඳ ගැටලුව

2026 වසරේ ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශය පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, 2025 ප්‍රකාශයේ සඳහන් වූ ඉඩම් සංඛ්‍යාව 4 සිට 5 දක්වා වැඩි වී ඇති බවයි. 1986 දී උරුමයෙන් ලැබුණු අනුරාධපුරයේ පර්චස් 97.26ක ඉඩම හා ගොඩනැගිල්ල තවදුරටත් ඔහු සතුව පවතින අතර, මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ඉඩම් තුනක් සහ කොළඹ කඩුවෙල පර්චස් 13.90ක ඉඩමේ පිහිටි වර්ග අඩි 4,500ක නිවස (2023 දී ලාල් කාන්ත විසින් දියණියට තෑගි කර ඇති, ඔප්පු වටිනාකම රුපියල් ලක්ෂ 80ක් ලෙස දැක්වෙන) එලෙසම පවතී. එපමණක් නොව, 2025 වසරේදී ඔහුගේ බිරිඳ විසින් රුපියල් 5,650,000ක් වැය කර කඩුවෙල ප්‍රදේශයෙන් තවත් පර්චස් 8.60ක හිස් ඉඩමක් මිලදී ගෙන ඇති බව 2026 ප්‍රකාශයේ දැක්වේ. ඒ අනුව, කඩුවෙල නිවස ඉදිකිරීම සඳහා පවුලේ දේපළ විකුණා දැමූ බවට අමාත්‍යවරුන් දෙදෙනා කළ ප්‍රකාශ මෙම නිල ලේඛන සමඟ නොගැළපේ.

2026 ප්‍රකාශයට අනුව පවුලේ බැංකු හා මූල්‍ය ගිණුම් සංඛ්‍යාව 7 සිට 11 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලාල් කාන්තගේ පෑන් ඒෂියා බැංකු ගිණුමේ රුපියල් 3,075,285.67ක් සහ ලංකා බැංකු ගිණුමේ රුපියල් 181,842.23ක්ද, බිරිඳගේ ස්ථාවර තැන්පතු දෙකක රුපියල් ලක්ෂ 25ක් සහ සෙසු ගිණුම්වල තවත් මුදල්ද සටහන්ව ඇත. වාර්ෂික ආදායම් ලෙස ලාල් කාන්තට පාර්ලිමේන්තු වැටුප රුපියල් 1,582,875ක් සහ ලීසිං ආදායම රුපියල් 960,000ක් ලැබී ඇති අතර, බිරිඳට සහ දියණියට රැකියා, වෘත්තීය සේවා, පොළී සහ කොටස් ආදායම් ලෙස රුපියල් මිලියන 4.35කට ආසන්න මුදලක් ලැබී තිබේ.

මෙහි ඇති තීරණාත්මකම කරුණ වන්නේ, 2025 ප්‍රකාශයේ සඳහන් වූ නිරාල් කඩවතආරච්චි නමැත්තාගෙන් 2024 දී ගත් රුපියල් ලක්ෂ 40ක පෞද්ගලික ණය මුදල කිසිදු ගෙවීමකින් තොරව 2026 ප්‍රකාශයටද ඉදිරියට ගෙනැවිත් තිබියදී, 2025 මැයි 26 වැනිදා නිවස ඉදිකිරීමට ගත් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂ අනූ දහස් හත්සිය අනූ හතක (රු. 11,590,797) ණය මුදල 2026 වත්කම් ප්‍රකාශයේ බැරකම් යටතේ සඳහන් නොවීමයි. ඒ වෙනුවට 2026 ප්‍රකාශයේ වියදම් යටතේ දක්වා ඇත්තේ නිවාස ඉදිකිරීමක් සඳහා රුපියල් කෝටියක් සහ අමතරව තවත් රුපියල් ලක්ෂ 16ක් (එකතුව රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක්) වැය කළ බවයි.

ඒ අනුව, පසුගිය වසරේ ප්‍රකාශයේ සඳහන් කළ පරිදි 2026 පෙබරවාරි 26 වැනිදාට පෙර අමාත්‍යවරයා මෙම රුපියල් කෝටියකට අධික නිවාස ණය මුදල සම්පූර්ණයෙන්ම පියවා ඇති බව පෙනී යයි. එහෙත් අමාත්‍යවරයාගේ, බිරිඳගේ සහ දියණියගේ ප්‍රකාශිත ඉතිරිකිරීම්, ස්ථාවර තැන්පතු සහ වාර්ෂික ආදායම් සලකා බැලීමේදී, නිවාස ඉදිකිරීම සඳහා වැය වූ රුපියල් ලක්ෂ 116ක මුදලත් බිරිඳ විසින් ඉඩමක් මිලදී ගැනීමට වැය කළ රුපියල් ලක්ෂ 56.5ක මුදලත් ආවරණය කිරීමට තරම් අතිරික්ත මුදලක් එම ගිණුම්වලින් පෙන්නුම් නොකරයි. එමෙන්ම, එම ණය පියවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් නව ණයක් ලබාගත් බවක් හෝ ත්‍යාගයක් ලෙස මුදල් ලැබුණු බවක් හෝ 2026 වත්කම් ප්‍රකාශයේ සඳහන් නොවන පසුබිමක, එම රුපියල් එක්කෝටි 16 ලක්ෂයක මුදල සපයා ගත් මූලාශ්‍රය කුමක්ද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles