සැබෑ පැමිණිලිකරු, මුදල් අමාත්‍යාංශයේ රහස් ලිපි සහ උසාවියට නොආ WHO වාර්තාවේ ඇත්ත ‘කයිවාරු.net’ හෙළි කරයි!
පසුගිය වසර කිහිපය පුරා මෙරට දේශපාලන හා සමාජ කරළිය උණුසුම් කළ ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්’ ප්‍රතිදේහ ඖෂධ නඩුව සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ගොඩනැගූ ජනප්‍රිය ආඛ්‍යානය සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නිල නඩු වාර්තා අතර බරපතළ පරස්පරතා රැසක් පවතින බව ‘කයිවාරු.net’ සිදුකළ කරුණු පරීක්ෂාවකදී (Fact-Check) අනාවරණය වේ.
නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය, ජනමාධ්‍ය, ඖෂධ කර්මාන්තයේ බලවේග සහ දේශපාලන බල අරගල යන පාර්ශ්ව හතරක ක්‍රියාකාරීත්වය මත මෙම නඩුව වටා වෙනමම ප්‍රතිරූපයක් නිර්මාණය වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 2025 ජූනි 20 වැනිදා ‘BBC සිංහල’ වෙබ් අඩවියේ පළවූ සවිස්තරාත්මක වාර්තාවක අඩංගු කරුණු සහ මහාධිකරණයේ නිල ලේඛන සංසන්දනය කිරීමේදී මාධ්‍ය හරහා සමාජගත වූ ප්‍රධාන කරුණු පහක සැබෑ පසුබිම මෙසේ නිරාවරණය වේ.
1 . නඩුවේ සැබෑ පළමු පැමිණිලිකරු සිවිල් ක්‍රියාකාරීන්ද, කෙහෙළියගේ උපදේශකවරයාද?
‘BBC සිංහල’ වාර්තාවේ සඳහන් කර තිබුණේ, ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර සහ වෛද්‍ය චමල් සංජීව යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනා 2023 ඔක්තෝබර් 13 වැනිදා කළ පැමිණිල්ලට අනුව CIDය විමර්ශන ආරම්භ කළ බවයි.

එහෙත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අංක 3/2023 දරන නඩුවේ පළමු B වාර්තාවට (PA/DCI/V/2780/CID/WC/2023) අනුව, CID විශේෂ විමර්ශන අංශ 01 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල අධිකරණයට මුලින්ම කරුණු වාර්තා කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය සංජය රජීව් ජේරාජ් පෙරේරා 2023 ඔක්තෝබර් 11 වැනිදා ලබාදුන් මුල් පැමිණිල්ල මත පදනම්වය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු වාර්තාවේ 121 වැනි පිටුවේ සඳහන් හරස් ප්‍රශ්න ඇසීමේදී CID විමර්ශන නිලධාරියාද ඒ බව නිල වශයෙන් තහවුරු කර තිබේ. ඒ අනුව, පළමු පැමිණිල්ල සිදුකර ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත ඔහුගේ පෞද්ගලික උපදේශකවරයා විසිනි.

2. ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා දෙකේ සැබෑ නිර්මාතෘ කවුද ?
කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත රුපියල් කෝටි 14.5ක් වැයකර බාල ඖෂධ ගෙන්වූ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට දැනුම් දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
නමුත් නිල රාජ්‍ය ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 ජූනි 01 දින ඉදිරිපත් කළ අංක 22/0714/512/004 දරන කැබිනට් සංදේශයෙන් ඉල්ලා තිබුණේ පවතින ප්‍රසම්පාදන ක්‍රමවේදය දීර්ඝ කිරීමට පමණක් වුවද, එවකට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිරීක්ෂණ සහ ඇමුණුම් මත භාණ්ඩාගාර ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන විසින් 2022 ජූනි 16 දින නිකුත් කළ PFD/PMD/Health//HSEPP/01/2022 දරන ලිපිය හරහා සම්පූර්ණයෙන්ම නව හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දී ඇති බවයි.

එපමණක් නොව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (ICL) යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) වෙන් කළ ඩොලර් මිලියන 115න් ඩොලර් මිලියන 34ක ලේඛන පමණක් ඉදිරිපත් වී ඇති බව පෙන්වා දෙමින්, SPC සඳහා වෙන් කළ ඉතිරි මුදල් පෞද්ගලික අංශයේ ඖෂධ ආනයන නියෝජිතායතන වෙත නැවත වෙන් කරන ලෙස දැඩිව උපදෙස් දෙමින් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී. රත්නායක විසින් ඖෂධ අනුකමිටු සභාපති වෛද්‍ය එස්.සී. වික්‍රමසිංහ වෙත යොමු කළ MF/ICFCU/HEALTH/MISC දරන රහස්‍ය ලිපිය මගින් දෙවැනි කැබිනට් පත්‍රිකාව මෙහෙයවා ඇති බව ලේඛනවලින් පැහැදිලි වේ.

3. රනිල් වික්‍රමසිංහගේ CID ප්‍රකාශය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීම
2025 ජූනි 11 වැනිදා CIDයට ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ හදිසි ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාව සම්බන්ධ සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සතු බවයි.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම් ලේඛනගතව තිබියදීත් සියලු වගකීම් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මත පැටවීම පිටුපස, ප්‍රශ්නගත ටෙන්ඩරය ‘Isolez’ සමාගමට ලබාගැනීමට සම්බන්ධ බව කියන සාගල රත්නායක සහ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වූ බෙවන් පෙරේරාගේ පුතුන් දෙදෙනා (මලිත් පෙරේරා සහ මනෝජ් පෙරේරා) ආරක්ෂා කිරීමේ උවමනාව පැවති බවට චෝදනා එල්ල වේ. මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමෙන් පසු එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් CID නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා විශේෂ රැස්වීමක් පැවැත්වූ බවත්, එවකට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ එම රැස්වීම මඟහැරි බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
4. උසාවියට ඉදිරිපත් නොවූ WHO වාර්තාව සහ ජර්මානු රසායනාගාර වාර්තාව
ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ ‘මාරාන්තික විෂ සහිත බැක්ටීරියා’ ඇති බවත්, රිටොක්සිමැබ් එන්නත්වල ඇත්තේ ‘ලුණු වතුර’ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තාවකින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට දැනුම් දුන් බව මාධ්‍ය වාර්තා කළේය.
එහෙත් මහාධිකරණ නඩු විභාගයේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් වන තෙක්ම, එවැනි සඳහනක් සහිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව අධිකරණ වාර්තාකරුවෝ පෙන්වා දෙති. එමෙන්ම 2024 මැයි 06 වැනිදා අධිකරණ නියෝගය මත ජර්මානු රසායනාගාරයකින් ලබාගත්තේ යැයි කියන පරීක්ෂණ වාර්තාව නීත්‍යනුකූලව ඔප්පු කිරීම සඳහා අදාළ සාක්ෂිකරුවන් කැඳවීමට පැමිණිල්ල කටයුතු කර නොමැති අතර, එම රසායනාගාරයට WHO අනුමැතිය ඇති බවට ලේඛනගත සාක්ෂියක්ද ඉදිරිපත් වී නොමැත.
5. රෝගීන් 150ක් අන්ධ වීමේ චෝදනාවේ ඇතුළාන්තය
බාල ඖෂධ නිසා රෝගීන් 150කට අධික පිරිසක් අන්ධභාවයට පත්වූ බවට වෛද්‍ය චමල් සංජීව කළ ප්‍රකාශයද එකල දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, අදාළ අක්ෂි ඖෂධය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයට බොහෝ කලකට පෙර සිටම නිසි ලියාපදිංචිය යටතේ ආනයනය කළ ඖෂධයක් වන අතර, එම ලියාපදිංචි සැපයුම්කරුවන්ම අදටත් එම ඖෂධය මෙරටට සපයනු ලබයි.
පසුගිය පාලන සමයේ නිර්මාණය කෙරුණු මෙම නෛතික හා මාධ්‍ය ආඛ්‍යානය වත්මන් පාලනයේ බලකේන්ද්‍රය වන ‘පැලවත්ත’ සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතුළු වත්මන් බලධාරීන්ද එලෙසම ඉදිරියට ගෙන යන පසුබිමක, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වන ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් ඉදිරියේ ඇති ලිඛිත සාක්ෂි මත ලැබෙන තීන්දුව දෙස මුළු රටම දැඩි අවධානයෙන් බලා සිටී.





