ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ නමැත්තා මුදාගැනීමේ කුමන්ත්‍රණයට අදාළව ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක දැවැන්ත අල්ලස් මුදල සෙවීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින්, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂට අයත් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් සහිත බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 2ක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් නියෝග මත සිටි ‘හරක් කටා’ නමැති සංවිධානාත්මක අපරාධකරු ආරක්ෂිත බන්ධනාගාරයක් වෙත මාරු කරදීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ලිහිල් කරදීමට පොරොන්දු වී, ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක (රුපියල් මිලියන 120ක) අත්තිකාරම් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත මීට පෙර රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැණිනි. පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන්ව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැරීමට කටයුතු කළේය.
කෙසේ වෙතත්, සැකකරුවන් විසින් ලබාගත් බව කියන අදාළ රුපියල් කෝටි 12ක දැවැන්ත මුදල සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් මෙතෙක් අනාවරණය වී නොමැත. ඒ අනුව, අතුරුදන් වූ එම මුදල් සොයාගැනීම වෙනුවෙන් ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’ ප්‍රකාරව සැකකරුවන්ගේ දේපළ ඉලක්ක කරගනිමින් අල්ලස් කොමිසම නව විමර්ශනයක් දියත් කර තිබේ.
එම විශේෂ දේපළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස, රඛිත රාජපක්ෂ මහතා සතු සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සහ රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් හතරක් මෙලෙස තහනමට ලක් කර ඇත.
අදාළ දේපළ තහනම් කිරීමේ නියෝගය පිළිබඳව රඛිත රාජපක්ෂ මහතාට පුද්ගලිකවම දැනුම්දීම සඳහා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අවස්ථා කිහිපයකදීම ඔහු පදිංචිව සිටින රාජගිරියේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වෙත ගොස් ඇතත්, ඒ වන විටත් ඔහු නිවසේ රැඳී සිට නැත. පසුව විමර්ශන නිලධාරීන් විසින් අදාළ තහනම් නියෝගය පිළිබඳ නිල දැනුම්දීම ඔහුගේ බිරිඳ වෙත භාරදීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග තහවුරු කරයි.





